ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වතිකානයට; එතුමන් ගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට රැගෙන එනු ලබයි Pope Francis’ mortal remains carried to St. Peter’s Basilica



(2025 අප්‍රේල් 23)

ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ සිය අවසන් ගමන එතුමන් ජීවත් වූ සාන්ත මාර්තා තානායම් ගෙදරින් ආරම්භ කරති.

එතුමන් ගේ දේහය අඟහරුවාදා වන තෙක් තැන්පත් කර තිබුනේ එතුමන් ගේ නිවස වූ වතිකානයේ සාන්තා මාර්තා තානායමේ කුඩා දෙව්මැදුරේ ය. එතුමන් සුදොතුම් පියතුමන් ලෙස පත් වූ දාට පසුදා සිටම මේ කුඩා දෙව්මැදුරේ උදෑසන දිව්‍ය  පූජා  යාගය සිදුකිරීම ආරම්භ කළේය. එහි  විශේෂත්වය  වූයේ ප්‍රථම වරට පාප් වහන්සේ දිනපතා පවත්වන පූජාවට සහභාගි  වීමට ජනතාවට ද අවකාශ ලැබීමයි. එම දිනපතා පූජාව පොදු පූජාවක් ලෙස සිදු කිරීම අවසන් කිරීමට සිදු වූයේ කෝවිඩ් වසංගතය හේතුවෙනි. එතුමා ගේ ජීවිතයේ  ප්‍රධාන සලකුණක් බඳු වූ මේ   පුංචි පල්ලිය එතුමා ගේ මිහිමත අවසන් ගමනේ මුල් ගිමන් නිවන ස්ථානය බවට පත් විය. 

එහි සිට බදාදා උදෑසන එතුමා ගේ දේහය ගෞරවාන්විත පෙරහරකින් සාන්ත පීතර බැසිලිකාව වෙත ගෙන එන ලදී.

සාන්තා මාර්තා පල්ලියේ දී එතුමන් ගේ  දේහය  වෙනුවෙන් පවත්වන ලද මෙහෙය ආරම්භ කරන ලද්දේ මේ කාලය තුළ කතෝලික සභාවේ පාලන  කටයුතු භාරව සිටින කාමලෙන්ඥෝ තුමන් වන කෙවින් ෆැරල් කාදිනල් හිමියන් විසිනි. එහිදී යාච්ඥා කල ෆැරල් කාදිනල් හිමි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දෙළොස් වසරක සභා සේවාව සහ ලෝක සේවාව වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කළේය. 

එතැන් සිට ආරම්භ වූ  අවමංගල පෙරහැර ඉදිරියෙන් ගමන් කලේ කාදිනල් පර්ෂදයේ (College of Cardinals) කාදිනල් හිමිවරුන් ය. සාන්තා මාර්තා චතුරශ්‍රය  හරහා, සාන්ත පීතර චතුරශ්‍රයට ලඟා වූ පෙරහැර සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රධාන ද්වාරයෙන් එම දෙව්මැදුරට  ඇතුළු විය. 

පෙරහැර සාන්ත පීතර චතුරශ්‍රයට ඇතුළු වෙන අවස්ථාව  වන විට 20,000කට අධික ජනතාවක් එහි රැස්වී සිටියහ. ස්වර්ගස්ථ වූ තමන්ට ආදරය කල තමන් ආදරය කළ ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දේහය චතුරශ්‍රයට ඇතුළු වන තැන සිට බැසිලිකාවේ පියගැටපෙළ  ඔස්සේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන තෙක් දීර්ඝ අත්පොලසන් නාදයකින් ප්‍රදේශය ගිගුම් දුන්නේය. ඒ මගින් ජනතාව  එතුමන්ට සිය ආදරයත් ස්තුතියත් ප්‍රකාශ කළහ.  

ඉන් පසුව සාන්ත පේදුරු තුමන් ගේ මහා ප්‍රකාශනය සිහිපත් කෙරෙන පූජාසනය ඉදිරියේ දේහය තැන්පත් කරන ලදී.  එහිදී මුලින්ම එහි සිටි  කාදිනල් පර්ෂදයේ හිමිවරුන් විසින්  ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට සිය අවසන් ගෞරවය දක්වනු ලැබිණි. ඉන් පසුව සාමාන්‍ය ජනතාව අවසන්  ගෞරව දැක්වීම ආරම්භ කළහ. 

බදාදා සිට සිකුරාදා රාත්‍රිය දක්වා දේහය ජනතවගේ අවසන් ගෞරව දැක්වීම සඳහා මෙහි තැන්පත් කර තැබේ. 

බදාදා සහ බ්‍රහස්පතින්දා  දෙදින  උදෑසන 7 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් සිය අවසන් ගෞරව දැක්වීම සඳහා බැසිලිකා දෙව්මැදුර විවෘතව තැබේ. සිකුරාදා දෙව්මැදුර විවෘත කෙරෙන්නේ උදසන 7 සිට රාත්‍රී 7 දක්වා පමණයි. ඊට හේතුව අවමංගල්‍ය කටයුතු සඳහා සූදානම් කිරීම අවශ්‍ය වන නිසාය. 

අප්‍රේල් 25 වැනි දා සිකුරාදා රාත්‍රී 8ට මිනීපෙට්ටිය වසා සීල් තැබීමේ පිළිවෙත සිදුකෙරේ. එය  මෙහෙයවනු ලබන්නේ ද කාදිනල් කෙවින් ෆෙරල්  කාමලෙන්ඥෝ තුමන් විසිනි. ස්වර්ගස්ථ වූ ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ගේ අවමංගල්‍ය දිව්‍ය පූජාව 26 වැනිදා උදෑසන 10ට සාන්ත පීතර චතුරශ්‍රයේදී සිදු කෙරේ. එය පැවැත්වෙන්නේ කාදිනල් හිමිවරුන් ගේ පර්ෂදයේ නායක ජොවන්නි බැටිස්ටා රේ කාදිනල් හිමිපාණන් විසිනි. 




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය