"නිරන්තරයෙන් ඔබේ දූත මෙහෙවර අලුතින් සොයා ගන්න ! ගමනේ යෙදෙන්න !" මැයි මාසයේ යැදුම් අදහස නිකුත් කරමින් සුදොතුම් පියතුමා සභාවේ දූත ව්‍යාපාර වලට උපදෙස් දෙයි.

Holly father invites Ecclesial movements to rediscover their evangelizing mission and be always on the move in the impulses of the Holy Spirit- Pope Video, May 2023



(2023 මැයි 12)

මැයි මාසය සඳහා ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. 

මේ මාසයේ ශුද්ධෝත්තම පියතුමන් ලොව පුරා  වෙසෙන කතෝලික ජනතාවට ආරාධනා කරන්නේ සියලුම ශාසනික දූත ව්‍යාපාර  (Ecclesial movements) සහ ඒවායේ ස්වේච්ඡා සේවාවේ නියුතු සෑම සාමාජික සාමාජිකාවක් වෙනුවෙන් ම යාච්ඥා කරන ලෙසයි. ඒ සමගම එතුමා සුපුරුදු පරිදි ශාසනික දූත ව්‍යාපාර ගැන ඉතා කටි එහෙත් ඉතා අරුත්බර භාවනාවක්  කරයි. 

මෙවර යැදුම් අදහස සුදොතුම් පියතුමා සකස් කර ඇත්තේ  ගිහියා, පවුල සහ ජීවිතය පිලිබඳ වතිකාන දෙපාර්තමේන්තුව සමග ද සම්බන්ධ වීමෙනි. 

ශාසනික දූත ව්‍යාපාර - එනම් අපේ මීසම්, කලාප සහ රදගුරු වසම් පුරා ව්‍යාප්තව ඇති විවිධ ගිහි සමිති, සමාගම් සහ ව්‍යාපාර - යනු මොනවා ද?

ශාසනික දූත ව්‍යාපාර යනු සභාව තුළ කිසියම් සුවිශේෂී අපෝස්තලික මෙහෙවරකට කැප වී, තමන් ගේ ම කැරිස්මාවකට අනුව සේවාව කරන කණ්ඩායම් සහ සංවිධාන වේ. සභාවේ පොදු යහපත සඳහා එම කැරිස්මාව ඔවුන්ට දානය කරනු ලබන්නේ ශුද්ධාත්මයාණන් විසිනි. ශාසනික දූත  ව්‍යාපාර යනුවෙන් හැඳින්වෙන  මේ සමිති සමාගම් ප්‍රධාන වශයෙන් ගොඩනැගී ඇත්තේ ක්‍රිස්තුන්  වහන්සේ තුළ තමන් එකමුතු කිරීම සොයා යන  ගිහි විශ්වාසිකයන් ගේ  සහභාගීත්වයෙනි.  එසේ ම එම සමිති සමාගම් වල සාමාජික සාමාජිකාවෝ සුබ අස්නේ සේවාව සඳහා නූතන ජනතාව සමග - ගැහැණුන් මිනිසුන් සහ ළමයින් සමග - ඔවුන් ජීවත් වන ස්ථාන වල සිට සංවාදයක යෙදෙති. 

තිළිණය. නිධානය.

මේ ගිහි සමිති, සමාගම් , දූත ව්‍යාපාර දෙවියන් වහන්සේ ගේ තිළිණයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය යැදුම් අදහස් භාවනාව තුළ සිහිපත් කරයි. එපමණක් නොවේ. එම ව්‍යාපාර සභාවේ "නිධානය" වේ. ඒවා නිධාන වන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ ය. 

ඒ නිධානය නම් ඒවායේ සාමාජිකයන් වන "ඔබ" බව එම සමිති සමාගම් හා ඒවායේ සාමාජික සාමාජිකාවනට එතුමා පෙන්වා දෙන්නේ ඔවුන් වෙත සිය කෘතඥතාව පළකරමිනි.  

ගමනේ යෙදෙන ධර්මදානීය මෙහෙවර. 

සසුන් ව්‍යාපාර සභාවේ ධර්මදානීය මෙහෙවරට සම්බන්ධ වෙමින් සභාව නවෝදාවට පත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. 

ඒවායේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් එතුමා හඳුනා ගනියි. එතුමා එය හඳුන්වන්නේ එම සමිති සමාගම් "වෙනස් භාෂා වලින් කතා කරන" බව ය. එනම් ඒවායේ මෙහෙවර, අරමුණු, ඉලක්ක, සේවා, ආධ්‍යාත්මිකත්වය ආදිය විවිධ ය. එහෙත් එම විවිධත්වය තුළ ඒකත්වයක් තිබේ. එනම් ආත්මයාණන් වහන්සේ වෙතින්  ලැබෙන නිර්මානශිලීත්වය යි. 

එම ව්‍යාපාර ක්‍රිස්තුන් වහන්සේ ගේ සුබාරංචියේ ළගන්නා සුළු බවත්  - හෙවත්  ආකර්ශනීය බවත්  -  එහි නැවුම් බවත් නිතර ප්‍රදර්ශනය කරමින් සිය දූත මෙහෙවර අලුතින් සොයා ගත යුතු බව ද එතුමා පෙන්වා දෙයි. 

ගමනේ යෙදෙන්න !

සමිති සමාගම් "ස්ථිතික" ආයතන බවට පත් වුවහොත් ඒවා එක තැන පල්වන අරුත් සුන් ආයතන බවට පත් වේ. මේ නිසා "නිතර ගමනේ යෙදෙන්න!" යි සුදොතුම් පියතුමා එම සසුන් ව්‍යාපාර වලට උපදෙස් දෙයි. එනම් ඒවා වෙනස් විය යුතු ය. ඒවා වෙනස් විය යුත්තේ "ශුද්ධාත්මයාණන් ගේ පෙලඹවීමටත් අභියෝගවලට සහ නුතන ලෝකයේ වෙනස්කම් වලටත් ප්‍රතිචාර දක්වමිනි."   

රූප කතාව 

මැයි මාසයේ සසුන් පිය වීඩියෝ කතාවට ලොව විවිධ ප්‍රදේශ වල සසුන් දූත ව්‍යාපාර කිහිපයක සේවා යොදවා ගෙන තිබේ. 

ජගත් යොවුන් දින කුරුසිය සමග වන්දනා ගමනක යන පෘතුගාලයේ බාලදක්ෂයින්, මැඩගස්කරයේ ෂලෝම් ධර්මදූතයන්, පිලිපීනයේ දිව්‍ය සත්ප්‍රසාදීය සහ විමුක්ති ධර්මදූතයන්, බ්‍රසීල පැල්පත් වල සේවාවේ යෙදෙන "නව ක්ෂිතිජය" සාමාජිකයන්, කෙන්යාවේ පැල්පත් නිවාස වල සේවාවේ යෙදෙන 23 වැනි ජුවාම් සමාජයේ සාමාජික පිරිසක් ලිබියාවේ සිට පැමිණෙන සරණාගතයන් පිළිගන්නා සන්එජිදියෝ ව්‍යාපාරයේ කණ්ඩායමක්,  අග්නිදිග ආසියාවේ දුෂණය වූ මුහුදු වෙරළවල් පිරිසිදු කරන ෆොකොලෙයාර් ව්‍යාපාරයේ සාමාජික කණ්ඩායමක් සහ ජාත්‍යන්තර දිවය සත්ප්‍රසාදීය කොන්ග්‍රෙසයේ දී දිව්‍ය සත්ප්‍රසාදීය වන්දනාවේ නිරත වන දිව්‍ය සත්ප්‍රසාදීය යොවුන් ව්‍යාපාරයේ යොවුන්  පිරිසක් මේ රූප පෙළට ඇතුළත් වී තිබේ. 

2023 මැයි මාසයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යැදුම් අදහස සම්පූර්ණයෙන් මෙසේ ය:

"ශාසනික දූත  ව්‍යාපාර දේව තිළිණයකි. ඒවා ක්‍රිස්තුන් වහන්සේ තුළ නිධානයකි. ඒ ඔබ ය. 

මේ දූත ව්‍යාපාර සංවාදය සඳහා ඒවා සතු හැකියාව මගින් සභාවේ ධර්මදානීය මෙහෙවරෙහි ලා ඇය නව්‍යතාවට පත් කරයි.

ඒවා දිනෙන් දින සුබ අස්නේ ළගන්නාසුලු බව සහ නැවුම් බව ප්‍රදර්ශනය කරන නව මාවත් සිය මෙහෙවර තුළ යළි  අනාවරණය කර ගනියි.

දූත ව්‍යාපාර එසේ කරන්න කෙසේද? 

වෙනස් භාෂා වලින් කතා කරන ඔවුන් පෙනෙන්නේ වෙනස් අය ලෙස ය. එහෙත් මේ වෙනස්කම ඇති කරන්නේ ඔවුන් ගේ නිර්මානශීලි බවයි. එහෙත් ඔව්හු නිතරම තමන්වම තේරුම් ගන්නා අතර තමන් තේරුම් ගනු ලබන්නට ඉඩ දෙති. 

තමන් තුළ තමන් වසා තබා ගැනීමේ දුර්පරීක්ෂාවෙන් වැළකීම සඳහා - එය අන්තරාදායකයි. නේද? - ඔව්හු නිතර රදගුරුතුමන් ගේ සහ මීසම්වල සේවාවට කැප වී සිටිති. 

ශුද්ධාත්මයාණන් ගේ පෙලඹවීමටත් අභියෝගවලට සහ නුතන ලෝකයේ වෙනස්කම් වලටත් ප්‍රතිචාර දක්වමින් නිතර ගමනේ යෙදෙන්න !

සහාව සමග ප්‍රසංවාදීව සිටින්න. මන්ද ප්‍රසංවාදී  බව ශුද්ධාත්මයාණන් ගේ තිළිණයකි.

ශාසනික දූත ව්‍යාපාර වෙනුවෙන්   අපි යාච්ඥා කරමු. සසුන් දූත ව්‍යාපාර සහ කණ්ඩායම් දිනපතා ම සිය දූත මෙහෙවර, ධර්මදානීය දූත මෙහෙවර යළි අනාවරණය කරගැනීම උදෙසා අපි යාච්ඥා කරමු. එසේ ම ඔවුන් ස්වකීය මෙහෙවර ලෝක අවශ්‍යතා වල සේවාව වෙනුවෙන් කැප කරනු සඳහා අපි යාච්ඥා කරමු. සේවාව ..." 

  

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය