"ම්‍යන්මාවේ වීදි වල මමත් දණ ගසාගෙන ඉන්නවා" සාමාන්‍ය වැසියන්ට වෙඩි තැබීම වැලැක්වීම සඳහා එරට පාරේ දන ගසාගත් කන්‍යා සොයුරිය සිහිපත් කරමින් සුදොතුම් පියතුමා කියයි; "සාමාන්‍ය වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය එපා!"

Pope Francis : “I too kneel on the streets of Myanmar”




(2020 මාර්තු 28)

ම්‍යන්මාවේ සාමාන්‍ය ජනතාවට එරෙහිව එල්ල කෙරෙන  ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් අයාචනා කරයි. 

"සිය දේශයට යළිත් බලාපොරොත්තුව දැල්වීම සඳහා පෙරමුණ ගෙන සිටින්නන් ගේ, විශේෂයෙන් තරුණයන් ගේ, ජීවිත අහිමි වීමේ ඛෙද ජනක තත්වය කෙරෙහි වහාම අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දැඩි වේදනාවෙන් යුතුව මම යළිත් සිහිපත් කරමි" යි එතුමා ප්‍රකාශ කරයි. 

"මම ද ම්‍යන්මාවේ වීදි වල දණ ගසාගෙන මෙසේ කියමි: ප්‍රචණ්ඩත්වය නවත්වන්න! මම ද මගේ දෑත් දිග හැරගෙන මෙසේ කියමි: සංවාදයට ඉඩ දෙන්න!" 

ඈන් රෝසා නූ ත්වාන් ඇතුළු කන්‍යා සොයුරියන් ගේ ධෛර්යය 

එතුමා මේ ප්‍රකාශය කළේ ම්‍යන්මාවේ කන්‍යා සොහොයුරියන්  තිදෙනෙකු එරට වීදියක දී දැක්වූ  ක්‍රිස්තියානි එඩිතර කම සිහිපත් කරමින් සහ එම කන්‍යා සොහොයුරියනට සිය අනුමැතිය, ධෛර්යය  සහ සමීපත්වය ප්‍රකාශ කරමිනි. 

සිද්ධිය සිදු වූයේ පෙබරවාරි 28 වැනිදා එරට කචින් පළාතේ අගනුවර වන ම්යිට්ක්යිනා නගරයේ දී ය. මිලිටරි කුමන්ත්‍රණ ජුන්ටාවට  එරෙහිව සහ යළිත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවන ලෙස ඉල්ලා එම ප්‍රාන්තයේ ජනතාව වීදි වලට  රොක්ව, සාමකාමීව උද්ඝෝෂණය කරමින් සිටියහ.ඒ අතර  මිලිටරි ජුන්ටාවේ නියෝග මත පැමිණ සිටි පොලිසිය ඔවුන්ට වෙඩි තැබීමට සූදානම් වූහ. ඒ මොහොතේ එහි සිටි ඈන් රෝසා නූ කන්‍යා සොහොයුරිය උද්ඝෝෂනය කරමින්  ජනතාව ඉදියට - එනම් සන්නද්ධ හමුදා භටයන් සහ ජනතාව අතර ඉදිරියට - පැමිණ අවි අමෝරා ගත පොලිසිය  ඉදිරියේ දණගසා, දෑත් දෙපසට දිගහැර, ජනතාවට වෙඩි නොතබන ලෙස හමුදා සෙබළුන්ට ආයාචනා කළාය. ඇය එසේ කලේ සැබෑ කිතුනු කමට සාක්ෂි දරමින්, සිය ජීවිතය ද පරදුවට තබමිනි. 

"වහාම නැගිට ඉවත් වන්න" යි සෙබලෙක් එම  පැවිදි සොයුරියට නියෝග කළේය. 

එහෙත්, "ඔබට ඕනෑ නම්, මට වෙඩි තියන්න. පෙළපාලි කරුවන් අතේ ආයුධ නැහැ. ඔවුන් ඔවුන් ගේ ඉල්ලීම ප්‍රකාශ කරන්නේ සාමකාමීවයි," යි එම නියෝගයෙන් නොසැලුණු ඈන් සොයුරිය කියා සිටියා ය. 

හතලිස් පස් හැවිරිදි  සිස්ටර් ඈන් නූ ක්ෂේවියර් නිකායික පැවිදි සොහොයුරියකි. 

තවත් පැවිදි සොයුරියෝ දෙදෙනෙක් ද එසේ ම කළහ. 

"ප්‍රචණ්ඩත්වය එපා" යි කියමින් තමා ද ම්‍යන්මා  වීදි වල දන ගසාගෙන සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාර්තු 17 වන දා පොදු හමුවේ දී ප්‍රකාශ කලේ  පැවිදි සොයුරියන්  ගේ එම  කිතුනු ක්‍රියාව සිහිපත් කරමිනි. එහෙත් එතුමා ඔවුන් ගේ  නම්  සඳහන් කලේ නැත.  

ප්‍රජාතන්ත්‍රවාදයේ සමෘද්ධිමත් ගමන මොහොතින් ආපසු හැරවූ හමුදා කුමන්ත්‍රණය 

ම්‍යන්මා ආරක්ෂක හමුදා නායකයෝ   පෙබරවාරි 1 වන දා  එරට නීත්‍යනුකුල රජය පෙරළා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්හ. ඔව්හු  ආණ්ඩු පක්ෂයේ නායිකා අවුන් සාන් සූ කී, එරට ජනාධිපති වරයා ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් වහාම සිර ගත කළහ. අවුරුද්දකින් පසුව මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවන   බව ද ඔව්හු කියා සිටියහ. ඔවුන් ගේ තර්කය වුයේ 2020 නොවැම්බරයේ පවත්වන ලද මහ මැතිවරණයය වංචා සහ දුෂණ තුළින් සූ කි ගේ පක්ෂය ජයගත් බව ය. එහෙත් සියලු මැතිවරණ නිරීක්ෂයෝ එම චෝදනාව ප්‍රතික්ෂේප  කරති.

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට තරුණ තරුණියන් ප්‍රමුඛව සමස්ත  ජනතාව විරෝධය පල කළහ. ඊට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා තමන් රෝගී ප්‍රතිකාර වලින් ඉවත් වන බව වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රකාශ කල අතර ගුරුවරු ඉගැන්වීමෙන් ඉවත් වන බට තර්ජනය කළහ. තරුණ තරුණියෝ වීදි වලට බැස සාමකාමීව උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ. මිලිටරි ජුන්ටාව ඊට පිළිතුරු දෙමින් සිටින්නේ සාමකාමී පෙළපාලි කරුවනට වෙඩි තැබීමට පොලිසියට සහ හමුදාවට නියෝග කරමිනි.  

මේ වන විට හමුදා සහ පොලිස් වෙඩි තැබීම් වලින් 180 දෙනකුට වැඩි පිරිසක් මිය  තිබේ. 

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මීට  පෙර ද බුරුමය  සාමාන්‍ය තත්වයට පත් කරන ලෙස මිලිටරි පාලකයන් ගෙන් ඉල්ලා සිටියේ ය. යැන්ගොං නුවර අගරදගුරු චාල්ස් මාවුං බෝ කාදිනල් හිමියන් ද ජනතාව ගේ ඉල්ලීම් වෙනුවෙන් ඉදිරියට පැමිණ සිටියි. කුමන්ත්‍රණය සිදු වී දින කිහිපයකින් නිවේදනයක් නිකුත්  කල එතුමා "අපේ රටට තවත් ලේ වැගිරවීම් එපා!" යි පවසමින් අදාල සාම පාර්ශ්වයකින් ම ඉල්ලා සිටියේ ය. එම තොරතුරු මෙතනින් කියවන්න :"ම්‍යන්මා භුමිය මත තවත් ලේ වැගිරීම් එපා! ...සත්‍යය ජග්‍රහණය කරනු ඇත" ම්‍යන්මා (බුරුම) හමුදා කුමන්ත්‍රණය ගැන එරට කාදිනල් හිමි ගේ ප්‍රබල දිවැසිවර ප්‍රකාශය. "ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න; අත්අඩංගුවට ගත් සියල්ලන් ඉක්මණින් නිදහස් කරන්න" හමුදා කුමන්ත්‍රණ කරුවන්ට කියයි


 


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය