"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" ඇතුළු දේව මෑණියන්ට නව අභිධාන තුනක් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි; දේම මාතා ප්‍රාර්ථනාවටත් ඇතුළත් කිරීමට උපදසේ

Pope Francis adds three titles to the Blessed Mother including “Comfort of Migrants” 

ඉතාලියේ පොම්පියා නගරයේ ශුද්ධ වූ ජපමාලයේ අප රාජේශ්වරිය ගේ සිතුවම 

(2020 ජුනි 20)
දේව මාතාවන් වන මරිය මෑණියන්ට නව අභිධාන තුනක් එකතු කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ. අලුතින් එක්කර ඇති මෙම අභිධාන තුන ජපමාල ධ්‍යානයෙන් පසුව හා වෙනත් මරිය යැදුම් සමග කතෝලික ජනතාව යදින සාම්ප්‍රදායික දේව මාතා ප්‍රාර්ථනාවට වහාම ක්‍රියාත්මක වන පරිදි එක් කෙරෙන බව වතිකානය අද නිවේදනය  කළේය.

මරිය මෑණියන්ට එක්කර ඇති එම නව අභිධාන (titles) තුන නම්,
"දයාවේ මාතාවෙනි" ,“Mother of Mercy,”
"බලාපොරොත්තුවේ මාතාවෙනි", “Mother of Hope,” සහ
"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" , “Comfort of Migrants.” යන ඒවායි.

මීට අදාළ ශුද්ධාසන උපදේශය, දිව්‍ය වන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමියන් විසින් අද නිකුත් කරනු ලැබිණි. නව උපදෙස් ඇතුළත් ලිපිය ලොව පුරා සෑම රදගුරු සමුළුවක ම සභාපති රදගුරු හිමිවරුන් වෙත යවනු ලැබූ බව  වතිකානය නිවේදනය කරයි.

දිව්‍ය වන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ උපදෙස්  වලට අනුව නව අභිධාන වත්මන් දේවමාතා ප්‍රාර්ථනාවේ  මතු කියැවෙන අභිධාන පද වලට පසුව එක් කෙරේ:
"දයාවේ මාතාවෙනි" යන්න  "ශුද්ධ වූ සභාවේ මාතාවෙනි" (Mother of the Church) යන පදයට පසුව;
"බලාපොරොත්තුවේ මාතාවෙනි" යන්න "දේව ප්‍රසාද මාතාවෙනි" (Mother of Divine Grace) යන පදයට පසුව සහ
"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි" යන්න "පව් කාරයන් ගේ අඩක්කලමෙනි" (Refuge of Sinners) යන පදයට පසුව.

දේව මාතා ප්‍රාර්ථනාවට එක්වන නව අභිධාන තුන ම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට අනන්‍ය වූ දූත මෙහෙවර සහ ඉගැන්වීම් මත පදනම් වූ ඒවාය. එහෙත් ඒවා කතෝලික සභාවේ ඉගැන්වීම් වලට අළුත් ඒවා නොවේ.

"දයාවේ මාතාවෙනි"

"පතුළ ස්පර්ශ කළ නොහැකි අගාධයක් බඳු දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව" ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා නිරන්තරයෙන් උගන්වන මාතෘකාවකි. "උන්වහන්සේ ගේ හදවතින් ගල එන දයා  කරුණාවට සමාව දිය නොහැකි පාපයක් නැතැ" යි  සුදොතුම් පියතුමා නිතර කියයි. සිය පාප්ධුර  සමයේ පළමු වසර තුළ දීම  එතුමා "දයා කරුණාවේ වසරක්" ප්‍රකාශයට පත් කළේය. එතුමන් ගේ රදගුරු තේමා පාඨය "දයා කරුණාවෙන් තෝරා ගැනීම" (Miserando atque eligendo, or, “choosing with mercy.”) යන්නයි. මේ පදනම මත මරිය මෑණියන් දයා කරුණාවේ මාතාවන්   බව එතුමා සිය දේශනාවලදී සහ භාවනා වලදී ශුද්ධ ලියැවිල්ල සහ සභා සම්ප්‍රදාය උපුටා දක්වමින් උගන්වයි. මේ නිසා මරිය මෑණියන් හඳුන්වන "දයාවේ මාතාවන්" යන අභිධානය එම ඉගැන්වීම් තහවුරු කරන්නකි.

"බලාපොරොත්තුවේ මාතාවෙනි"

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මරිය මෑණියන් මහත් බැතියෙන් හඳුන්වන්නේ බලාපොරොත්තුවේ ආදර්ශය ලෙස ය. සිය ජීවිත කාලය තුළ, විශේෂයෙන් ම දේව දූතයා ගේ ප්‍රකාශනයෙන් පසුව ඕ තොමෝ  නිරන්තරයෙන් බලාපොරොත්තුවෙන් අනූන වූ ජීවියක් ගත කළාය. මේ නිසා මරිය මෑණියන් "ගැලවීමේ සහ බලාපොරොත්තුවේ  සලකුණක් ලෙස අපගේ ගමන නොකඩවා දීප්තිමත්  කරන" බව සුදොතුම් පියතුමා සිය යාච්ඥා වලින් පවා යළි යළිත් සිහිපත් කර යි. .

"සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ලෙනි"

මෙම මරිය අභිධානවල නිරීක්ෂයන් ගේ අවධානය වැඩියෙන් ම යොමු වී ඇති අභිධානය "සාංක්‍රමනිකයන්ගේ සැනසිල්ල" යන්නයි.

සරණාගතයන් සහ අවතැන් වූවන් ප්‍රමුඛ කොට ගත් සියලු සාංක්‍රමණිකයන්ට සරණය වීම  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දූත සේවාවේ සහ ඉගැන්වීම් වල ප්‍රමුඛතා වලින් එකකි.

"ජේසු-මරිය-ජුසේ යන ශුද්ධ වූ පවුල සරණාගතයන්ව සිටියා" යයි 2017 ශුද්ධ වූ පවුලේ මංගල්‍ය දින ධර්ම දේශනයේ දී එතුමා අනුශාසනා කළේය. ලොව පුරා විවිධ ප්‍රදේශ වල සිට, විශේෂයෙන් සිරියාව ඇතුළු ආරබිකරය සහ අප්‍රිකාවේ සිට, දැවැන්ත සරණාගත රැල්ලක් යුරෝපයට එන්නට පටන් ගත්තේ ඒ වසරේ ය. "මේ සරණාගත අඩි පාරවල් තුළ ශුද්ධ වූ පවුලේ අඩි පාරවල් සැඟවී තිබෙනවා" යි එතුමා කීවේ ය. "සරණාගතයන් නොපිළිගන්නා රටවල් කිතුනු රටවල් නොවන" බව ද තම සරණය බලාපොරොත්තුවෙන් එන "සරණාගතයන් ප්‍රතික්ෂේප කරන හදවත් කිතුනු හදවත් නොවන" බව ද එතුමා අවධාරණය කළේය. එතුමා ග්‍රීසියේ ලෙස්බොස් දූපත බලන්නට ගොස් එහි සිටි සිරියානු සරණාගත පවුල් කිහිපයක් සිය ගුවන් යානයෙන් ම වතිකානයට ගෙන ආවේ ය. 2019 සැප්තැම්බර මාසයේ එතුමා වතිකාන චතුරශ්‍රයට දැවැන්ත නව මුර්තියක් එක් කළේය. එය නම් කර ඇත්තේ "නොදන්නා දේවදූතයෝ" (“Angels Unaware,”) යනුවෙනි.  කැනේඩියානු මුර්ති ශිල්පී ටිමති ෂැමල්ස් ගේ නිර්මාණයක් වන මෙයින් බෝට්ටුවකින් එන සරණාගත කණ්ඩායමක් මුර්තිමත් කෙරේ.  ලෝකයේ විවිධ යුග වල සරණාගතයන් බවට පත් වූ ජනකොටස් නියෝජනයන කරන ප්‍රතිමා 140කින් මෙම මුර්තිය සමන්විත ය. ආදිවාසී ස්වදේශික ජනතාව සහ  නාසි ජර්මනියේ ජුදෙව්වන් ගේ සිට සිරියානු, අප්‍රිකානු සරණාගතයන් ඇතුළු නූතන සරණාගතයන් දක්වා ජනකොටස් මේ මුර්තියෙන් පිළිබිඹු වේ.

නොදන්නා දේවදූතයෝ

සරණාගතයන්ට සරණ වීමේ  ඉගැන්වීම කතෝලික ඉගැන්වීමට අලුත් දෙයක් නොවේ. එය ගලා එන්නේ මතෙව් සුවිශේෂයේ එන අවසන් තීන්දුව පිලිබඳ ජේසු සමිඳුන් ගේ සුන්දර දේශනාවෙනි. "මම කුසගිණිව, පිපාසිතව, නිරුවත් ව....සිටියෙමි; ඔබ මට ....වූහ" ආදී වශයෙන් පවසමින්  මෙම දේශනාව මගින් ජේසු සමිඳාණෝ ලෝකයේ සිටින සියලු අසරණ, පීඩිත, තනි වූ ජනතාව සමග තමන් අනන්‍ය කර ගත්හ. මෙම ශුද්ධ ලියැවිලි ඉගැන්වීම මත පදනම් වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බංගලි දේශයේ දී රෝහින්ග්‍යා සරණාගතයන් මුණගැසුණු අවස්ථාවේ දී "අද දෙවියන් වහන්සේ වැඩසිටීම යනු රෝහින්ග්‍යාවන්" යැයි අවධාරණය කෙළේය.

එබැවින් මරිය මෑණියන් මෙම අභිධානයෙන් හඳුන්වමින් සුදොතුම් පියතුමා ලෝකයට දෙන පණිවිඩයක් තිබේ. එනම්:
මරිය මෑණියෝ සරණාගත, සාංක්‍රමණික ජනතාව ගේ සරණ ය. සැනැසිල්ල ය. එබැවින් මරිය මෑණියන් ගේ හදවතින් ලෝකය දෙස බැලිය යුතු කිතුනුවන් ද "සාංක්‍රමනිකයන්ගේ සැනැසිල්ල" විය යුතු ය යන්න යි.

ක්‍රිස්තුන් වහන්සේ මුණගැසෙන්න

"මරිය වහන්සේ නිරන්තයෙන් සමිඳුන් ගේ වචනය කෙරෙහි  විශ්වාසය තැබූවේ යැ" යි මෙම නව මරිය අභිධාන ප්‍රකාශයට පත් කරමින්  දිව්‍ය වන්දනාව සහ සක්‍රමේන්තු ශික්ෂණය පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමි කියයි. මේ නිසා සභාව නොකඩවා එතුමිය වෙත තමන් භාර කරන බව එතුමා සඳහන් කරයි.

සුදොතුම් පියතුමා ගේ තීරණය ප්‍රකාශයට පත් කරමින් කාදිනල් හිමියන් ලෝක රදගුරු හිමිවරුනට යැවූ ලිපියේ මෙසේ ද සඳහන් වේ:
"මරිය මෑණියන් 'වනිතාවන් අතර ආශීර්වාද ලත්  වනිතාව' බව  දැනගත් ජේසු සමිඳුන් ගේ ශ්‍රාවකයන්  ආරම්භයේ සිට ම එතුමියට ප්‍රශංසා කළ බවත් නිරන්තරයෙන් එතුමිය ගේ මාතෘක මධ්‍යස්ථ භාවය මත විශ්වාසය තැබූ බවත් සුපුවතින් අපි ඉගෙන ගනිමු. ..ඉතිහාසය පුරා මරිය මෑණියන් වෙත ලබා දුන් විවිධාකාර වූ අභිධාන ක්‍රිස්තුන් වහන්සේ මුණගැසීමට අපට ලැබී ඇති නිශ්චිත සහ වරප්‍රසාදිත මාර්ගයකි."





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය