"රාජ්‍ය නායකයන් පාලනය කරනු වෙනුවට, කුරිරු වනු වෙනුවට, සේවක-නායකත්වය පිලිබඳ ජේසු සමිඳුන් ගේ ආදර්ශය තේරුම් ගත්තා නම් යුද්ධ කීයක් වලක්වා ගත හැකිව තිබුනාද?" - මහ බ්‍රහස්පතින්දා ධර්ම දේශනය

" If many heads of state had understood Jesus' teaching on service instead of ruling and being cruel,  how many wars would not have been fought?" Poe asks at the Holy Thursday Mass 

සුදොතුම් පියතුමා සිරකරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළා - Vatican Media වෙතින් නිකුත් කෙරිණි 

(2018 අප්‍රේල් 2)
ජේසු සමිඳුන් අපගේ පව් මල දෝවනය කර අප පිරිසිදු කිරීමට නිතර අප ඉදිරියේ ප්‍රේමයෙන් බලා සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.
"ජේසු අප සෑම කෙනෙකු සම්බන්ධයෙන්ම අවදානමක් ගන්නවා. මෙය මතක තබා ගන්න: ජේසුගේ නම ජේසුස්, පොන්සියු පිලාත්තු නොවේ. අප අතහැර දමා සිය දෑත් සෝදා ගන්නට ජේසු සමිඳුන් දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ අප වෙනුවෙන් අවදානමක් ගන්නට පමණයි."

එතුමා මේ ඔවදන් දුන්නේ මාර්තු 29 වැනිදා, මහා බ්‍රහස්පතින්දා සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය සැමරීමේ දිව්‍ය පුජාවේ පාද දෝවන පිළිවෙතට පෙර, සිරකරුවන් අමතා සිය  ධර්ම දේශනය කරමිනි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙවර මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයේ "රෙජිනා චේලි" (Regina Coeli) බන්ධනාගාරයේ දීය. එහි සිටින සිරකරුවන්, නිලධාරීන් සහ බන්ධනාගාර සේවාවේ යෙදී සිටින දෙව්සත්හල් සොහොයුරන් කිහිප දෙනෙක් ද මෙම දිව්‍ය යාගයට සහභාගී වූහ.

දිව්‍ය පූජාවේ පාද දෝවන පිලිවෙතේදී සුදොතුම් පියතුමා සිරකරුවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළේය. ඒ අතරින් සිව්දෙනෙකු ඉතාලි ජාතිකයන් වූ අතර, දෙදෙනෙක් පිලිපීන ජාතිකයෝ ද, දෙදෙනෙක් මොරොක්කෝ ජාතිකයෝද, මොල්දෝවාව, කොලම්බියාව, නයිජීරියාව සහ සියෙරා ලියොන් යන රටවලින් එක්  කෙනා බැගින්ද වුහ. පාද දෝවනයට එක් වූ අට දෙනෙක් කතෝලිකයෝය.ඉස්ලාම් බැතිමතුන් දෙදෙනෙකු, එක් ඕතඩොක්ස් බතිමතෙකු සහ එක් බෞද්ධයෙක් ද සෙසු අය  අතර වුහ.

පාද දෝවන පිළිවෙතට පෙර කෙටි ධර්ම දේශනයක් කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජේසු සමිඳුන් සිය අන්තිම රාත්‍රී භෝජනයේ දී සිදුකල පාද  දෝවන ක්‍රියාවේ පසුබිම සහ වැදගත්කම පහදා දුන්නේය.
"ජේසු සමිඳුන් ගේ සමයේ පාද දෝවනය කිරීම පැවරී තිබුනේ වහලුන්ටයි. ඒ දවස්වල පාරවල් වලට ඈෂ්ෆල්ට් තාර දමා හෝ  ගල් අල්ලා තිබුනේ නැහැ. පාරවල ඇවිදින මිනිසුන් ගේ පා දුහුවිලි වලින් අපවිත්‍ර වී තිබුණා. මේ නිසා ඔවුන් නිවසකට ඇතුළුවීමට පෙර ඔවුන් ගේ පාද සෝදා දැමීම සිරිතක් වී තිබුණා. නිවසකට ඇතුළුවන අමුත්තන් ගේ පාද සේදීම පැවැරී  තිබුණේ වහලුන්ටයි"

" මෙම සුබඅස්නේ  කතාව අනුව, ජේසු සමිඳුන් මෙලෙස වහලුන් ගේ භූමිකාව තමන් ඉටු කරමින්  සිය ශ්‍රාවකයන් ගේ පාද දෝවනය කලේ අප ද එකිනෙකාට සේවය කල යුතු ආකාරය ආදර්ශයෙන්ම පෙන්වා දීමටයි." යැයි එතුමා පෙන්වා දුන්නේය.

 එකල රජවරුන් සේවය ලැබීමට සැදී පැහැදී සිටි අයුරු සුදොතුම් පියතුමා විස්තර කළේය:
"ඒ සමයේ  ජීවත් වූ කුරිරු රජවරුන් සහ අධිරාජයන් ගැන කල්පනා කරන්න. ඔවුන් වහලුන් විසින් සේවය කරනු ලැබීම අවධාරණය කළා. එහෙත් ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට උපදෙස් දුන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේ කරන ලෙසයි: 'ඔබ අතරේ  එසේ නොවේවා! ඔබ අතරේ පාලනය කරන තැනැත්තා සේවය කල යුතුය' කියා උන්වහන්සේ ඔවුනට කීවා. ජේසු සමිඳුන් තමන් ගේ යුගයේ පැවැති සංස්කෘතික සහ ඓතිහාසික ආකල්ප උඩු යටිකුරු කළා.  උන්වහන්සේ එය අදත් කරනවා. පාලනය කරන තැනැත්තා යහපත් ස්වාමියකු  වීමට නම්, ඔහු සේවය කල යුතුයි. මට බොහෝ විට මෙහෙම හිතෙනවා - අද ජීවත් වන  පුද්ගලයන් ගැන නොවේ. මන්ද ඔවුනට තවමත් වෙනස් විය හැකියි; මේ නිසා අපට ඔවුන් විනිශ්චය කල නොහැකියි; - එහෙත් ඉතිහාසය ගැන කල්පනා කරන්න. රජවරුන්, අධිරාජයන් සහ  රාජ්‍ය නායකයන්, පාලනය කරනු වෙනුවට, කුරිරු වනු වෙනුවට, ජනතාව මරා දමනු වෙනුවට  ජේසු සමිඳුන් ගේ මේ උපදේශය තේරුම් ගත්තා නම්, මේ දේ ඉටු කළා නම්, යුද්ධ කීයක් වලක්වා ගත හැකිව තිබුනාද?" යි සුදොතුම් පියතුමා විමසුවේය. 

"ජේසු සමිඳුන් මිහිතලය මත ජීවත් වූ කාලයේ දීත් අදත් සමාජයෙන් බැහැර කරන ලද ජනතාව සොයා යනවා. එසේ ගොස් ඔවුනට කියනවා: 'ඔබ මට වැදගත්' කියා. එම ජේසු සමිඳුන් අද මේ රෙජිනා චේලි බන්ධනාගාරයේ සේවය කරන බවට සලකුණ වන්නේ, ඔබ අතරින් 12 දෙනෙකු පාද දෝවනය කිරීමට තෝරා ගැනීමයි."

"මමත් ඔබ වගේම පව්කාරයෙක්. එහෙත් මම අද ජේසු සමිඳුන් නියෝජනය  කරනවා.  මම උන්වහන්සේ ගේ නියෝජිතයා; තානාපතිවරයා. මා ඔබ ඉදිරියේ දණගසන විට මෙසේ සිතන්න: ' 'ජේසු සමිඳුන් මා වෙත පැමිණ උන්වහන්සේ මට ප්‍රේම කරන බව පැවසීමට මේ මිනිසා ගැන, මේ පව්කාර මිනිසා ගැන අවදානමක් ගත්තා. මෙය නම් සේවාවයි. මෙය නම් ජේසු සමිඳාණෝයි. උන්වහන්සේ කිසිදා අප අත්හැර දමන්නේ නැහැ. උන්වහන්සේ කිසිදා අපට සමාව දීමෙන් වෙහෙසට පත්වන්නේ නැහැ. උන්වහන්සේ එතරම්ම අපට ප්‍රේම කරනවා" යි එතුමා කියා සිටියේය.

සාමය පැතීම - "ඔබ අමනාප අයවත් සිහිපත් කර සාමය ප්‍රාර්ථනා කරන්න"

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීමට පෙර සාමය පැතීමේ අවස්ථාවේදී සුදොතුම් පියතුමා සියල්ලන්  සමග -තමන්ට වැරැදි කරන අය සමග පවා -  සාමයෙන් සිටීම ගැන වචන කිහිපයක් එකතු කළේය.
"අපි සියලු දෙනාම - මම විශ්වාස කරනවා, අප සියලු දෙනාම - සෑම කෙනෙකු සමගම සිත්  සාමයෙන් සිටීමේ ආශාවෙන් සිටිනවා.එහෙත් අපගේ හදවත්තුළ එකිනෙකට පරස්පර ගැටුම් සහගත හැඟීම් තිබෙනවා."

"අප ආදරය කරන, අපට යහපත් දේ කරන තැනැත්තන් සමග සිත් සාමයෙන් සිටීම පහසුයි. එහෙත් අපට වැරැදි කල අය සමග, අපට ආදරය නොකරන අය සමග සිත් සාමයෙන් සිටීම පහසු නැහැ.  මේ නිසා අපි මොහොතක් නිශ්ශබ්දව සමිඳුන්ගෙන් ඒ සාමයේ වරප්‍රසාදය ඉල්ලමු. සෑම කෙනෙකුටම - යහපත් අයහපත් සෑම කෙනෙකුටම සාමයේ තිළිණය දානය කරන ලෙස නිහඬව ඉල්ලමු."

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙම බන්ධනාගාර බැහැදැකීම සහ දිව්‍ය පූජාව පෞද්ගලික එකක් විය. මාධ්‍ය ආවරණයට අවසර නොදුන් එකක් විය. එහෙත් ඉතාලියේ රේඩියෝ නාලිකාවක් විසින් සුබ අස්න කියවීම සහ ධර්මදේශනය පමණක් විකාශනය කෙරිණි.

දිව්‍ය පූජාවට පසුව සුදොතුම් පියතුමා බන්ධනාගාර ගිලන්හලේ රෝගීව සිටින සිරකරුවන් ගේ සුවදුක් විමසීමට ද ගියේය. පසුව එතුමා එහි දැඩි ආරක්‍ෂිත අංශය වෙතද ගියේය.

මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව සිර ගෙදරක පැවැත්වූ සිව්වැනි වතාවයි.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය