"දයා කරුණාව අප බලන්නට පැමිණ අපට කතා කරන ගවලෙන " - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙතෙක් පල නොවූ ගවලෙන ගැන භාවනාවක්

"Mercy visits us and speaks to us in the crib" - A meditation on the Crib by Pope Francis



 (2017 දෙසැම්බර 24)
නත්තලේ අබිරහස අපට ප්‍රදානය කරන පණිවිඩය නම් අපේ ස්වර්ගීය පියාණන් ගේ දයා කරුණාවය. අප  නත්තල් ගවලෙන ගැන භාවනා කරන විට පැහැදිලිවම අපට ලැබෙන දේව වරප්‍රසාදය නම්  දයා කරුණාව දැක්වීමට අප තුළ ඇතිවන දැඩි කැමැත්තයි. වරක් සුබ  අස්නේ එන එක් තරුණයෙක්  ජේසු සමිඳුන් "යහපත්" යයි කීවේය. එහෙත් ඊට පිළිතුරු ලෙස ජේසු සමිඳුන් කියා සිටියේ "යහපත් වන්නේ දෙවියන් වහන්සේ පමණක්" බවයි. මේ මගින් සියලු දයා කරුණාවේ උල්පත කවුරුන්දැයි ජේසු සමිඳුන් ඔහුට කියා දුන් අතර කරුණාව දැක්වීමේ මාර්ගය අපට පෙන්වා දුන්නේය. අපට කරුණාව දැක්විය හැක්කේ දෙවියන්  වහන්සේගේ යහපත්කමේ පතුලක් නොමැති අබිරහසෙන් අප ආවරනය වීමට ඉඩ දීමෙන් පමණි.

ජේසු නිකායිකයන්  කරුණාවන්ත විය යුතුය යන අදහස ශු. ඉග්නේෂස් තුමාට ද නුපුරුදු දෙයක් වූයේ නැත. නිකායේ ශ්‍රේෂ්ඨයන් ගේ කාර්යභාරය ගැන නිකාය ව්‍යවස්ථාවේ එතුමා  මෙසේ කියයි: "මීට කළින් සඳහන් කල  කරුණු අතරින් කවර කොටසක් අඩු වුවද, (ජේසු නිකායික ශ්‍රේෂ්ඨයා )දයා කරුණාවෙන් හා  ප්‍රේමයෙන් අඩු නොවිය යුතුය."

සියුම් දූත මෙහෙවර සඳහා තෝරා ගනු ලබන මිනිසුන් තුළ "වටහා ගැනීමේ ශක්තිය සහ කරුණාව" තිබිය යුතු බව (නිකාය) ව්‍යවස්ථා කියවන විට පෙනී යයි. එපමණක් නොව එවැනි පුද්ගලයන් තුළ "යහපත් විනිශ්චය සහ කරුණාව", "අධ්‍යාපනය හා කරුණාව" තිබිය යුතු බව ද ව්‍යවස්ථාවල සඳහන් වේ.  නිකාය ශ්‍රේෂ්ඨයන් ගේ සංගමය සහ ඔවුන් යටතේ සිටින්නන් ඒකාබද්ධ කොට ශක්තිමත් කිරීම ගැන කතා කරන  ශු. ඉග්නේෂස් තුමා පවසන්නේ ආත්මයාණන් තුළ දයාව සහ ධර්මගුණ නිකා දේහය ඒකාබද්ධ කරන බවයි. මේ සියල්ල ගලා එන්නේ ශු. ඉග්නේෂස් තුමන් තුළ තිබූ එක් ලක්ෂනයකිනි. එනම් එතුමා "මවුම්කරුවාණන් සහ ස්වාමියාණන් ගේ අපරිමිත ප්‍රඥාව හා දයා කරුණාව" දැක විශ්මයට පත්ව සිටි බවයි.

නත්තල් ගවලෙනට සමීප වීම යනු දෙවියන් වහන්සේ ගේ මෙම යහපත්කම සමීපයට පැමිණීමයි. එය අප ශුද්ධවත් කරයි. මන්ද උත්තරීතර වූ දයා කරුණාව මාංශගතවී ඇත්තේ එතැන  බැවිනි. ශු. පාවුළු තුමන් කොරින්ති වරුනට ලියූ පළමු ලිපියේ 13 පරිච්චේදයේ ප්‍රේමය පිළිබඳව කළ  ප්‍රකාශය ජේසු සමිඳුන් තුළ සම්පූර්ණ වී තිබේ: ජේසු සමිඳාණෝ ඉවසිලිවන්තයාණෝ ය. උන්වහන්සේ සේවය කරන්නා ය. උන්වහන්සේ ඊර්ෂ්‍යාව හඳුනන්නේ නැත. තමන්ව පාරට්ටු කරගැනීමේ හෝ  උඩඟු වීමේ පාප පරීක්ෂාවට තමන් විනාශ  කිරීමට උන්වහන්සේ ඉඩ නොහරින සේක. කෙතරම්  සංවරයට පත්ව ඇත්දයත් උන්වහන්සේ කිසිවිටෙක සිය යහපත පමණක් නොසොයන, නොකිපෙන නපුරෙන්  සිත වියවුල් කර නොගත් තැනැන්වහන්සේය. අයුක්තියෙන් සහ අසාධාරණයෙන් සතුට නොසොයන උන්වහන්සේ සත්‍යයෙන් ප්‍රීතියට පත්වන සේක. ජේසු සමිඳාණෝ සියල්ලනට සමාව දෙන සේක; සියල්ල විශ්වාස කරන සේක; සියල්ල බලාපොරොත්තු වන සේක; සියල්ල දරා ගන්නා සේක. ජේසු සමිඳුන් ගේ දයා කරුණාවට නිමක් හෝ ඉමක් නැත; උන්වහන්සේ ගේ දයා කරුණාව කිසිදා වියැකෙන්නේ හෝ පහව යන්නේ නැත.

 නත්තල් ගවලෙන අසල අප සතු බොහෝ දේ - ඇතැම් විට මෙතක් කල් අප වැදගත් යයි සැළකූ බොහෝ  දේ - අප තුළ බැබලුනු බව, ස්ථිර බව  අප සිතූ දේ-  බිඳවැටේ.  එහෙත් ඇත්තෙන්ම එම වැදගත්කම, එම දීප්තිය, සහ එම ස්ථිරත්වයට ඇත්තේ එකම පදනමක් පමණි: එනම් අපගේම අස්ථිර   උන්නතිකාමයේ මඩවගුරයි. මරණය විසින් - කුරුසියේ මරණය විසින් - තමන් පාගා පොඩිකර දැමීමට පවා බිය නොවූ තැනැන්වහන්සේ  ඉදිරියේ එම උන්නතිකාමයේ පදනම දෙදරා යයි.

නත්තල් ගවලෙනේ ශක්තිය නම්, සැබෑ පදනම - එනම් සුබ අස්න පෙන්වා දෙන පර්වතය මත ඉදිකළ ගොඩනැගිල්ල - හමුවන්නේ වෙනත් තැනෙකය යන්නයි. දයා කරුණාව නොමැති අධ්‍යාපනයෙන් හෝ දයා කරුණාවක් නොමැති වටහා ගැනීමේ ශක්තියෙන් හෝ දයා කරුණාවක් නොමැති විනිශ්චයෙන් හෝ කිසිම ඵලක් නැතැයි ශු. ඉග්නේෂස් ලොයොලා තුමා කල ප්‍රකාශයේ අදහස එයයි.

ගවලෙනෙන් අපට පෙන්වා දෙන දිශාව අපගේ උන්නතිකාමයෙන් පැනනගින දිශාවට වඩා වෙනස්ය. ගවලෙනෙන් අපට  පෙන්වා දෙන දිශාව සත්‍යයේ මාර්ගයයි; රවටිල්ලේ හෝ මුලා කිරීමේ හෝ මාර්ගය නොවේ. රජවරු තිදෙනා සිය දිශාව වෙනස් කර (ජේසු) බිලිඳා ගේ ජීවිතය ගලවා ගත්හ. මන්ද, ඊට කලින්, සිය ජීවිත මාර්ගය වනස් කර ගැනීම මගින් හෙරෝද් ගේ රැවටිල්ලෙන් ගැලවී සැබෑ දිශාව සොයා ගත හැකි බව (ජේසු) බිලිඳා විසින් ඔවුනට පෙන්වා දී තිබු බැවිනි. රජවරු ඇදහිල්ලේ  අග්‍ර ආදර්ශයෝ වෙති. මන්ද  මතුපිට  දක්නට ලැබෙන ව්‍යාජ අලංකාරය හා බලයට වඩා බිලිඳා තුළ මාංශගත වූ දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව  ඔවුන් විශ්වාස කල බැවිනි.

තුන් රජවරු සිය බුද්ධි බල මහිමය ඉවත ලූහ. ඔවුන්  එසේ කලේ තමන්ට මිළ කල නොහැකි තිළිණය - එනම් ඇදහිල්ලේ තිළිණය- දානය කල තැනැන්වහන්සේ වෙනුවෙන් සියල්ල පූජා කිරීම සඳහා ය. උත්තරීතම දයා කරුණාව හමුවේ , එනම් "තමන් මනුෂ්‍යයකු කරගත් මැවුම්කරුවාණන්" හමුවේ,  ඇදහිල්ල සහ භක්තිය ස්ථිර බලයක් බවට පත්වේ.

කරුණාවන්ත වීමට අප තුළ ඇති කැමැත්ත වර්ධනය කර ගැනීම යනු, දෙවියන් වහන්සේ ගේ සියලු කරුණාවට පදනම් වන්නේ ද එය ශක්තිමත් කරන්නේ ද කුරුසිය බව  දැනගෙන, එම දයා කරුණාවේ අබිරහසට අප තුළට ඇතුලුවීමට ඉඩ හැරීමය. එබැවින් අප ගවලෙන දෙස බලන විට එහි සිදුවන්නේ කුමක්ද යන්න යන්න භාවනාත්මකව කල්පනා කරන්නේ නම් එයි මහත් යහපතක් සිදුවනු ඇත. "ඔවුන් ගේ ගමන් බිමන්, ඔවුන් ගේ වෙහෙස මහන්සි, මේ සියල්ලත්  ක්‍රිස්තුන් වහන්සේ අන්ත දුප්පත්කම තුළ ඉපදීම සහ මහත් වෙහෙස මහන්සියෙන්, කුසගින්නෙන්, පිපාසයෙන්, අධික තාපයෙන්, ශීතලෙන්, අපහාස සහ නින්දා වලින් පසුව උන්වහන්සේ කුරුසිය මත පන පුදන සේක; මේ සියල්ල මා උදෙසාය. (ශු. ඉගැනේස්හස් තුමා ගේ ආත්මික අභ්‍යාස).

ගවලෙන තුළ දයා කරුණාව අප බලන්නට පැමිණ අපට කතා කරයි. සෑම අම්ම කෙනෙකු සේ ම දේව අම්මා අපගේ නෙත් සහ සවන්  සෝදා පිවිතුරු කර මේවා දකින්නටත් අසන්නටත් අප නෙත් සහ සවන් පාදත්වා!

-හොර්හේ මාරියෝ බොර්ගොලියෝ (පියතුමා) විසිනි
(The Tablet නමැති බ්‍රිතාන්‍ය කතෝලික සඟරාවේ පළවූ ලිපියක පරිවර්තනයකි.)

නත්තල් ගවලෙන ඉදිරියේ මේ අදහස ගැන භාවනා කරන්න.

පාඨක වන නොවන ඔබ සියලු දෙනාට වතිකාන සුළග 
සුබ නත්තලක් 
ප්‍රාර්ථනා කරයි. 

 

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය