"පියවරුනි, විවාහක යුවල්වල ජීවිතයේ 'ගමන් සගයකු' වන්න" - සුදොතුම් පියතුමන් ගෙන් මීසම් සේවක පියවරුනට අනුශාසනා

"Let faithful see you as a brother who listens and understands, not an expert in bureaucracy and juridical norms.": Holy Father advises Parish Priests

 

(2017 පෙබරවාරි 25)
මීසම් සේවක පියවරුන් සිය මීසම් ජනතාවගේ විවාහක  ජීවිතය පුරා ඔවුන් ගේ 'ගමන් සගයකු' බවට පත් විය යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. යුවලක් විවාහයට සුදානම් වන අවස්ථාවෙන් පටන් ගෙන විවාහ මංගල දිව්‍ය පූජාව ඔස්සේ ඔවුන් ගේ ජීවිතයේ මුණගැසෙන අභියෝග හා අර්බුදවලදී සහාය වෙමින් ත්‍රිත්වයික ප්‍රේමයෙන් ඔවුන්  ගේ විවාහ ජීවිත පොහෝණි කිරීමෙහි ලා මීසම් පියවරුන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කල යුතුව ඇති බව  එතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සතියේ රෝමයේ පැවැති මීසම් සේවක පියවරුන් ගේ වැඩමුළුවක දී ය.

විවාහ අවලංගු කිරීමට අදාළ කතෝලික සභාවේ නව ක්‍රියාමාර්ග හා විවාහය සම්බන්ධ වෙනත් නෛතික කරුණු පිළිබඳව මීසම් සේවක පියවරුන්ට පුහුණුවක් දීම සඳහා පෙබරවාරි 22-25 දිනවල මෙම වැඩමුළුව පැවැත්විණි. එය සංවිධාන කරන ලද්දේ ශුද්ධාසනයේ ඉහළම අභියාචනාධිකරණය වන "රෝමානු රෝතාව" (Roman Rota) විසිනි. සුදොතුම් පියතුමා ඊට සහභාගී වූ පියතුමන්ලා ඇමැතූයේ පෙබරවාරි 25 වනදායි.

යුවල් විවාහයට සූදානම් කිරීම දැඩි අවධාරණයකින්  යුතුව ඉටු කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මීසම් සේවක පියවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
"මෙම විවාහ සූදානම හුදෙක් කෙටි, දින කිහිපයක පාඨ මාලාවකට සීමා නොකරන්න. විවාහයට සූදානම් වීමේ සති අන්තවලට සහභාගී වන තරුණ යුවල්වලින් කී දෙනෙක් විවාහය යනු කුමක්දැයි නිසි ලෙස තේරුම් ගෙන ඇති දැයි මා මගෙන්ම ප්‍රශ්න කරගෙන තිබෙනවා. කතෝලිකයකුට විවාහ සක්‍රමේන්තුව යනු ක්‍රිස්තුන් වහන්සේ සහ සභාව අතර ඇති එකීයත්වයේ සංකේතය යයි කී විට එහි අරුත  කුමක්දැයි මේ අයට වැටහෙනවා ද? "ඔව්" යයි ඔවුන් පිළිතුරු දෙනු ඇති. එහෙත් මේ ගැන ඔවුන් තුළ විශ්වාසයක් තිබෙනවාද?  .....තමන් තබන්නට යන පියවරෙහි ඇති ගැඹුරු බව හා බරපතල කම ගැන වැටහීමක් විවාහ සුදානම මගින් මෙම යොවුන් යුවල්වලට ලබා දිය යුතුයි. එසේම, විවාහ මංගල දිව්‍ය පූජාව අවස්ථාවේ දී ද විවාහයෙන් පසු වසර කිහිපයක් ගත වන තෙක් ද මෙම සහයෝගය පියවරුන් විසින් ඔවුනට ලබා දීම යෝග්‍යයි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. මේ අයුරින් දිවෙන "විවාහ ධර්මෝපදේශ පාඨමාලාවක්" (catechumenate) සකස් කරන ලෙස තමන් රෝමානු රෝතාවට උපදෙස් දුන් බව එතුමා සඳහන් කළේය.

"විවාහය යනු අප වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද උන්වහන්සේ ගේ ප්‍රතිරූපය යි. දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ පිතා, පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන් යන පුද්ගල ත්‍රිත්වයේ  ප්‍රේම බන්ධනය තුළයි. එබැවින් විවාහයට  සුදානම් වීමේ පාඨමාලාවල සහ ධර්මදානයේ කේන්ද්‍රය බවට පත් විය යුත්තේ මෙම ත්‍රිත්වයික ප්‍රේමය සහ ක්‍රිස්තුන් වහන්සේ සිය මනාලිය වන සභාවට ඇති ප්‍රේමයයි" යි සුදොතුම් පියතුමා විවාහයේ දෙවධාර්මික පදනම විස්තර කළේය.

"විවාහයේ සංකීර්ණත්වයත් ඒ තුළ ඇතිවන විවිධ අර්බුදත් ගැන වඩා හොඳ  අවබෝධයක් ඇත්තේ ඔබටයි" යි  මීසම් සේවක පියවරුන් අමතමින්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. යොවුන් යුවලක් විවාහ වීමට තීරණය කල විට මුලින්ම එන්නේ ඔබ හමුවන්නටයි. තමන් ගේ විවාහයේ ගැටලුවකට මුහුණ දුන් විට, ආශීර්වාදකාර බන්ධන සක්‍රමේන්තුවේ අන්තර්ගත දේව වරප්‍රසාද යළි සොයාගැනීම සඳහා ඔවුන් යළිත් පැමිණෙන්නේ ඔබ වෙතටයි. කිතුනු විවාහ, සිවිල් විවාහ, කැඩුණු විවාහ, තරුණයන්, පවුල් සහ ඔවුන් ගේ සතුට හා දුක ගැන මුලින්ම දන්නේ ඔබයි. ඒ නිසා පියවරුනි, සෑම තත්වයකම සිටින සෑම පුද්ගලයකුටම ආධාරකයක්, ශක්තියක්  වීමට සහ ඔවුනට  ජීවිත සාක්ෂියක් වීමට ඔබ කැඳවනු ලැබ  සිටින බව නිතර සිහිපත් කරන්න" යි එතුමා අවධාරණය කළේය.

" මුලින් ම ඔබ කැඳවනු ලැබ  සිටින්නේ, සභාවේත් සමාජයේත් පැවැත්මට අතිශයින් වැදගත් වූ හර්දය වස්තුව වන ආශීර්වාදකාර බන්ධනයෙන් ගලා එන දේව වරප්‍රසාදයටත් පවුල් ජීවිතය යහපත් දෙයක් ය යන සත්‍යතාවටත් සාක්ෂිකරුවකු වීමටයි. එසේම විවාහ ජීවිතය ත්‍රිත්වයික දෙවියන්  වහන්සේ ගේ සලකුණක් ය යන සත්‍යයට සාක්ෂි දරීමටයි. ඒ සමගම ඔබට ලැබී ඇති කැඳවීම පවුල් වලට ආධාරකයක්, ශක්තියක් වීමටයි. ස්වකීය සම්බන්ධය සැබෑ සක්‍රමේන්තු විවාහයක් නොවන බව තේරුම් ගොස් මේ තත්වය නිවැරදි කර ගැනීම සඳහා ඔබ සොයා එන යුවල්වලට ඔබ ආධාර කල යුතුයි. මෙවැනි සංකීර්ණ හා අතිශයින් අත්‍යවශ්‍ය අවස්ථාවල ඔබ නිලධාරිවාදී සහ නෛතික රෙගුලාසිවලට අනුව කටයුතු කරන විශේෂඥයකුට වඩා, ඔවුනට සවන් දී ඔවුන් තේරුම් ගන්නා සහෝදරයකු ලෙස ඔබගේ විශ්වාසිකයන් තේරුම් ගෙන තිබීම අත්‍යවශ්‍ය ය " යි මීසම් සේවක පියතුමන්ලාට අනුශාසනා කරමින් සුදොතුම් පියතුමා කියා සිටියේ ය.

විවාහ නොවී 'එකට ජීවත් වීමට" (live together) වැඩි කැමැත්තක් දක්වන යොවුන් යුවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පියතුමන්ලාගෙන් ඉල්ලා සිටියේ ය. "ආධ්‍යාත්මිකව සහ ශීල ධර්මයානුකුලව කතා කරන විට, මෙම කණ්ඩාම දිළිඳු, කුඩා වූවන් අතර සිටින කණ්ඩායමකි. ඔවුනට සභා මාතාව කිසිදා අත්හැර නොදමන දයාබර මවක විය යුතුය. ඔවුන්ට සමීප වී ඔවුන් රැකබලා ගත යුතු ය. මේ නිසා ඔවුන් කෙරෙහි මෘදුව අනුකම්පා සහගතව කටයුතු කරන්න. "

   

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය