"දෙවි පියාණන්ට ඔබ අමිලයි; උන්වහසේ ගේ අසීමිත දයා කරුණාව අත්දකින්න": සුදොතුම් පියතුමා තරුණ-තරුණියනට ඇරයුම් කරයි.

"In God's eyes your value is inestimable" Holy Father tells world's youth 


(2016 ජූලි 31)
දේව දයාවේ තිඹිරි ගෙය වූ පෝලන්තයේ ක්‌රැකෝ නුවර පැවති දයාවේ ජුබිලි වසරේ කතෝලික යොවුන් මංගල්‍යය -එනම් ජගත් යොවුන් දිනය - ඊයේ (2016 ජූලි 31 දා ) පරිසමාප්තියට පත්විය. මෙවර තරුණ දිනය නම් කොට තිබුනේ "දයා කරුණාවේ කඳවුර" ("Campus Misericordie " or "Camp of Mercy")  යනුවෙනි. මෙහි පරිසමාප්ති අංගය වූයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල්‍ය දිව්‍ය පූජාවයි. "දයා කරුණාවේ කඳවුර" හෙවත් 2016 ජගත් තරුණ දිනයට සිය රටවල තරුණ තරුණියන් සමග පැමිණ සිටි කාදිනල් හිමිවරු 70 නමක්  පමණ සහ රදගුරු හිමිවරු 800 නමක් ද මෙම දිව්‍ය පූජාවට හවුල් වූහ. ලොව පුරා රටවල් 187කින් තරුණ තරුණියන් මෙම තරුණ දිනයට සහභාගි  වූ බව එය සංවිධාන කල ලේකම් කාර්යාලය කියයි. සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැති පරිසමාප්ති මංගල්‍ය දිව්‍ය දිව්‍ය පූජාවට 16 ලක්ෂයක (මිලියන 1.6ක) යොවුන් ජනතාවක් සහභාගී වී සිටියහ.

මෙම මංගල්‍ය දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට එක් වී සිටි සහශ්‍රක යොවුන් ජනතාවට අභියෝගයක් සහ කැඳවීමක් දුන්නේ ය. අභියෝගය නම්, දේශ, ජනවර්ග, ගෝත්‍ර, භාෂා ආදී විවිධ "සීමා මායිම් බිඳ දමා, ආදරයේ සහ දයාවේ හසරැල්ලකින් හා විවෘත දෑතකින් බලාපොරොත්තුව ප්‍රකාශ කරන 'නව මනුෂ්‍යත්වයක' පෙර ගමන් කරුවන් වන්න!" යන්නයි. එතුමා තරුණයනට කළ කැඳවීම, "තමන් සිටින තත්වය, තරාතිරම නොතකා ජේසු සමිඳුන් ගේ අසීමිත, කොන්දේසි විරහිත ආදරයත් දයා කරුණාවත්  පෞද්ගලිකව ම අත්දකින්න" යන්නයි.

2016  යොවුන් අභියෝගය 

ලෝකය සුවපත් කිරීම සඳහා දෙවියන් වහන්සේ තරුණ ඔබගෙන් "සැබෑ ධෛර්යයක්, සැබෑ නිර්භීතකමක්" ඉල්ලාසිටින බව සුදොතුම් පියතුමා තරුණ ජනතාවට කීවේය. "දෙවියන් වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටින්නේ ලෝකය සුවපත් කිරීම සඳහා දයා කරුණාවත්  සමාව දීමත් ඔබ තුළ ජීවත් කරවීමට  නිර්භීත වන ලෙසයි."

"ජේසු සමිඳුන් ආදරයෙන් පිළිගැනීම ඇත්තෙන් ම කෙතරම් දුෂ්කර ද? දයා කරුණාවෙන් පිරිපුන් වූ දෙවිඳාණන් කෙනකු බාරගැනීම කෙතරම්  ආමාරුද?  එවැනි ප්‍රයත්න වලදී ජනතාව ඔබට බාධා කිරීමට උත්සාහ කරනු ඇත. දෙවියන් වහන්සේ දුරස්ථ, අසංවේදී,  දරදඬු කෙනකු ලෙස සිතන්නට ඔවුන් ඔබ පොලඹවනු ඇත. උන්වහන්සේ යහපත් අයට යහපත් ලෙසත් අයහපත්  අයට අයහපත් ලෙසත් සලකන කෙනකු ලෙස ඔවුන් පෙන්වනු ඇත. එහෙත් ඊට වෙනස්ව, අපගේ ස්වර්ගීය පියාණෝ, යහපත් අයටත් අයහපත් අයටත් එක ලෙස හිරු  උදා කරන සේක."

මෙලෙස සීමා මායිම් බිඳ දමමින් මිනිසුන් මිනිසුන් ලෙස වැළඳ ගන්නට උත්සාහ කරන විට තරුණ ඔබට විවිධ ගැටළු සහ අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට සුදොතුම් පියතුමා අනතුරු ඇඟවීය:

"ඔබ නව මනුෂ්‍යත්වයක් පිලිබඳ විශ්වාස කරන නිසාත්, සීමා හෝ මායිම් බාධා ලෙස පිළිගැනීම ඔබ ප්‍රතික්ෂේප කරන නිසාත්, එසේම ඔබ ආත්ම කේන්ද්‍රීය හෝ වැසුණු මනසකින් තොර ඔබගේම නැවුම් සම්ප්‍රදාය වලින් යුත් කෙනකු නිසාත්, ඔබ සිහින දකින්නකු ලෙස ජනතාව විනිශ්චය කරනු ඇත. එවිට අධෛර්යවත් නොවන්න! මන්ද ඔබ සිනහවකින් සහ විහිදුනු දෑතින්  බලාපොරොත්තුව ප්‍රකාශ කරන නිසා ය. මෙසේ කරන විට ඔබ අපේ ඒකීය මානව පවුලට ආශීර්වාදයකි. මෙම ස්ථානයේ ඔබ සුන්දරව නියෝජනය කරන්නේ එයයි" සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය.


2016 යොවුන් කැඳවීම 

අපගේ අනන්‍යතාව දුර්මුඛ අසුබවාදිත්වය තුළ ජීවත් කල නොහැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. අපගේ අනන්‍යතාව විකසිත වන්නේ  දෙවියන් වහන්සේගේ දෑසින් බැලූ විට අපගේ අගය මිනිය නොහැකිය යන දැනීම තුළය. ඇත්තෙන් ම උන්වහන්සේ ඉදිරියේ අප සෑම කෙනෙක් ම වැදගත් ය; කිසිවෙක් නොවැදගත් නොවන බව එතුමා පැහැදිලි කලේය.

"දෙවියන් වහන්සේ අපට ආදරය කරන්නේ අප සිටින ආකාරයටම ය. අපගේ කිසිදු පාපයකට, වැරැද්දකට හෝ අත්වැරැද්දකට උන්වහන්සේගේ සිත වෙනස් කළ නොහැකිය. කිසිවෙක් නොවැදගත් නොවේ. උන්වහන්සේ  අප සෑම කෙනෙකුට ම විශේෂ ආදරයකින් ආදරය කරයි. උන්වහන්සේට අප සෑම කෙනෙකුම වැදගත්. ඔබ වැදගත්. උන්වහන්සේ ගේ දෙනෙතට ඔබ බොහෝ වටියි; ඔබගේ අගය මිළ කල නොහැකියි.  ඊට ප්‍රතිවිරුද්ධව අප අපවම පිළිගන්නේ නැති නම්, දුර්මුඛව, අසුබවාදීව ජීවත් වෙනවා නම්, එහි අරුත අප අපගේ ගැඹුරු අනන්‍යාතාව පිළිගෙන නොමැති බවයි.   එය හරියට මට කතාකර මා දෙස බලන්නට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ විට, මා පිලිබඳ උන්වහන්සේගේ සිහිනය බිඳ දමන්නට මෙන්, උන්වහන්සේට පිටුපා මා ඉවතට  ගමන් කරනවා වගෙයි." සුදොතුම් පියතුමා විස්තර කළේය.

මෙදින සුබ අස්න තෝරාගෙන තිබුනේ ශු. ලූක් තුමාගේ සුවිශේෂයෙනි. සමාජය විසින් පව්කාරයකු ලෙස කොන් කරන ලද බදු අයකැමි සකේවුස්, ජේසු සමිඳුන් විසින් දයා කරුණාවෙන් පිළිගනු ලැබීමේ අවස්ථාව මෙදින සුබ අස්නට පාදක විය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ධර්ම දේශනාවට පාදක වුයේ ද එම පණිවිඩයයි.

ජේසු සමිඳුන් ගස යට සිට සකේවුස්ට කතා කරන මෙම ජවනිකාව අපට පෙන්වා දෙන්නේ, ජේසු සමිඳුන්ට අවශ්‍ය වන්නේ හුදෙක් ජනතාවට ආමන්ත්‍රණය කරන්නට පමණක් නොවේය යන්න බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "පෞද්ගලිකවම අපට සමීප වන්නට උන්වහන්සේට අවශ්‍යයි. එපමණක් නොවේ. උන්වහන්සේ ගේ ජීවිතයත් අපගේ ජීවිතයත් සැබවින් ම මුණගැසී, අපගේ ගමනේ අවසානය දක්වා අප කැටුව යාමට උන්වහන්සේට අවශ්‍යයි."

ජේසු සමිඳුන් දැකගැනීමට අවශ්‍ය වුනත් උන්වහන්සේට සමීප වීමට සකෙවුස්ට බාධා කිහිපයක් ම තිබූ බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. පළමුවැන්න ඔහුගේ ශාරීරික බාධාවයි එනම් ඔහු මිටි මිනිසෙකු වීමයි.

"ජේසු සමිඳුන් මුණගැසීමට අපගේ 'මිටි බව' බාධාවක් යැයි අපට අදත් සිතෙනවා. උන්වහන්සේට ලංවීමට තරම් අප කුඩා වැඩියි; උන්වහන්සේ හමුවීමට අප නුසුදුසුයි යයි අපට සිතෙනවා. මෙය විශාල දුර්පරීක්ශාවක්. මෙයට බලපාන්නේ අප තුළ ඇති ආත්ම අභිමානය පමණක් නොවේ; අපගේ  විශ්වාසය ද ඊට බලපානවා" යි සුදොතුම් පියතුමා විස්තර කළේය.

"අප මවනු ලැබ තිබෙන්නේ දෙවියන් වහන්සේ ගේ ස්වරූපයට අනුව ය. ජේසු සමිඳුන් අපගේ මනුෂ්‍යත්වය තමන් වෙත පවරාගෙන තිබේ. මේ කරුණු නිසා උන්වහන්සේ ගේ හදවත අපගෙන් කිසි දිනෙකත් වෙන් කල හැකි නොවේ. අප තුළ ජීවත් වීමට ශුද්ධාත්මයානන් වහන්සේට අවශ්‍යය. අප කැඳවනු ලැබ සිටින්නේ  සදා කාලයටම දෙවියන් වහන්සේ සමග ආනන්දයෙන් ජීවත් වනු සඳහාය.අපගේ සැබෑ  පෞරුෂය  රඳා  පවතින්නේ අපගේ ආධ්‍යාත්මික අනන්‍යතාව  මතය. එනම් අප සියල්ලන්ම දේව දරුවන් ය යන්නයි."

අප සතුව ඇති දේ කුමක් ද අපගේ වත් පොහොසත්කම කෙබඳුද. අපගේ විලාසිතාව කුමක් ද යන්න දෙවියන් වහන්සේට වදගත් නොවේ. උන්වහන්සේට වැදගත් අප ය. උන්වහන්සේ ට අප මිල කල නොහැකියි. "අප අප ගැන විශ්වාස කරනවාට වඩා දෙවියන් වහන්සේ  අප ගැන  විශ්වාස කරයි."

අපගේ පසුගිය අත්වැරදීම ගැන පසුතැවෙමින් නොසිට දෙවියන් වහන්සේ ගේ අපරිමිත දයා කරුණාව කෙරෙහි විශ්වාසයෙන් සිටින ලෙස සුදොතුම් පියතුමා උපදෙස් දුන්නේය.

"අපගේ පසුගිය ප්‍රශ්න, වැරැදි හෝ "පසුගිය තුවාල" ගැන කල්පනා කරමින් සිටීම, අපගේ ආධ්‍යාත්මික අනන්‍යතාවට තරම් නොවේ. එය සියල්ල ආසාදනය කර සියල්ලට  බාධා කරන වෛරසයක් බඳුය. එය සියලු දොරටු වසා දමා, නැගිට ආපසු අලුතින් පටන් ගැනීමට ඇති අවස්ථා වලකාලයි. එහෙත් ඇත්ත වශයෙන් ම, ඊට ප්‍රතිවිරුද්ධව දෙවියන් වහන්සේ අනපේක්ෂිත ලෙස බලාපොරොත්තු සහගත ය. මේ නිසා 'මා දෙවියන් වහන්ස් ගේ දුවෙක්; පුතෙක්' යැයි නිරන්තරයෙන් සිතන්න. එසේ සිතා සාම උදෑසනක ම දෙවියන් වහන්සේට මෙසේ කියන්න: 'පියාණනි, ඔබ මට ආදරය කිරීම ගැන ඔබට ස්තුතියි; මගේ ජීවිතය සමග ආදරයෙන් බැඳෙන්නට මට උදව් වන්න."

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය