"මේ සිකුරාදා (ජුනි 3) ඔබේ පියතුමන්ලා වෙනුවෙන් විශේෂාකාරයෙන් යාච්ඥා කරන්න" සුදොතුම් පියතුමා සමස්ත කතෝලික ජනතාවගෙන් ඉල්ලයි

Holy Father requests Catholics:"Pray for your clergy on this Jubilee for Priests"



(2016 ජුනි 1 )
මේ සිකුරාදා (2016 ජුනි 3) ජේසු සමිඳුන් ගේ අති පරිශුද්ධ වූ දිව්‍ය හෘදයේ මංගල්‍යයයි.

දයාවේ ශුද්ධ වසර වන මේ වසරේ මෙම මංගල්‍ය දිනය තවත් විශේෂත්වයක් දරයි. එනම්, පුජාප්‍රසාදීතුමන්ලාගේ ජයන්ති (Jubilee for Priests)  දිනය ද මෙදිනට දී ඇති බැවිනි. එබැවින් මේ දින කිහිපයත්, විශේෂයෙන් ජුනි 3 වැනිදාත් "ඔබගේ පියතුමන්ලා වෙනුවෙන් විශේෂාකාරයෙන් යාච්ඥා කරන" ලෙස සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිති.

"මෙම ජුනි මාසය පුරාම ඔබගේ පූජකතුමන්ලා වෙනුවෙන් ජේසු සමිඳුන් ගේ අති පරිශුද්ධ වූ දිව්‍ය හෘදයට යාච්ඥා කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා" යැයි බදාදා (ජුනි 1) සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවේ දී සුදොතුම් පියතුමා මෙම විශේෂ ඉල්ලීම කළහ. "උන්වහන්සේලා කරුණාබර ප්‍රේමයෙන් පූර්ණ වූ ජේසු සමිඳුන් ගේ  හදවතේ ප්‍රතිමුර්තීන් වනු පිණිස, වඩාත් සමීපව, ප්‍රේමයෙන් උන්වහන්සේලාට සහය වනු සඳහා මෙම යැදුම් ඔප්පු කරන්න" යැයි  සුදොතුම් පියතුමා ඉල්ලා සිටියේ ය.

මේ වසරේ දිව්‍ය හෘදයේ මංගල්‍යයත් එදින පැවැත්වෙන පියතුමන්ලාගේ  දයාවේ ජුබිලියත් තවත් අතකින් විශේෂත්වයක් හා වැදගත්කමක් දරයි. එනම් ජේසු සමිඳුන් ගේ අති පරිශුද්ධවූ දිව්‍ය හෘදයේ මංගල්‍යය සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමේ 160 වන සංවත්සරය ද මෙදිනට ම යෙදී තිබීමයි. ශ්‍රී හෘදයේ මංගල්‍යය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1856 දී 9 වන පියුස් පාප් වහන්සේ විසිනි. ඒ අනුව මේ දිනය කතෝලිකයනට "ත්‍රිත්ව ජයන්ති' දිනයක් බවට පත් වී තිබේ.

පූජකතුමන්ලාගේ ජයන්තිය වෙනුවෙන් රෝමයට පැමිණි පියතුමන්ලා අද (ජුනි 1 බදාදා) සිට ඒ සඳහා සූදානම් වීම ආරම්භ කල බව වතිකාන රේඩියෝව පවසයි. එතුමන් ජයන්ති දෙව්මැදුරු - එනම් ලවුරෝවේ දිව්‍ය ගැලවුම්කාරයාණන් වහන්සේ ගේ දෙව්මැදුර, වැලිසෙල්ලාවේ දේවමාතා දෙව්මැදුර හා සාන්ත ස්නාවක ජුවාම් යන දෙව්මැදුරු බැහැදැකීම දැනටමත් ආරම්භ කර තිබේ.



ජයන්තියට සහභාගී වීම සඳහා  පූජාප්‍රසාදිතුමන් හා දෙව්සත්හල් සිසුන් 6000ක් පමණ මේ වන විටත් රෝමයට පැමිණ සිටිතියි වතිකාන ජනමාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. පොදුවේ දේව වචනය ගැන මෙනෙහි කොට භාවනා කිරීමටත්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බැහැදැකීමට හා වන්දනා කිරීමටත්, පශ්චාත්තාපයේ හා සමගි සන්ධානයේ දේව ප්‍රසාද  නිධානය ලබා ගැනීමට හා සාන්ත පීතර බැසිලිකාවේ පිහිටි ශුද්ධ ද්වාරයෙන් ඇතුළු වීමටත් මෙම ජුබිලිය ඔවුනට මහඟු අවස්තාවක් වී ඇති බව එම නිවේදනය කියයි.

පූජක ජයන්තියේ ආධ්‍යාත්මික ශර්ම විවේකය පැවැත්වෙන්නේ බ්‍රහස්පතින්දා (ජුනි 2) ය. එදින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ඔවුන් වෙනුවෙන් භාවනා තුනක් සිදුකිරීමට නියමිතයි. එම භාවනා වල තේමාව, "යහපත් එඬේරා: පූජකවරයා සිය ජතාවට සමීපවූත් සියල්ලන් ගේ සේවකයා වූත් දයා කරුණාවේ හා අනුකම්පාවේ සේවයකු ලෙස" යන්නයි. සුදොතුම් පියතුමා මෙම භාවනා තුන වේලා තුනක දී මෙහෙයවන්නේ පාප් වහන්සේ ගේ බැසිලිකා දෙව්මැදුරු තුනේ සිටයි. එනම්, සාන්ත ජෝන් ලැතෙරන් (පෙ.ව. 10), සාන්ත මේරි මේජර් (දහවල් 12) සහ සාන්ත පාවුළු (ප.ව. 4) දෙව්මැදුරුවල සිටයි. සියලු පියතුමන්ලාට ඊට සහභාගී විය හැකි අයුරින් එතුමන්ලා සිටින ස්ථාන සියල්ල රූපවාහිනි විකාශ මගින් යාකෙරේ.

පූජක ජුබිලි මහෝත්සවය කුළුගැන්වෙන්නේ ජුනි 3 වැනිදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ප්‍රධානත්වයෙන් හා සියලුම පූජක-රදගුරු පිරිසේ සහභාගීත්වයෙන් සාන්ත පීතර චතුරශ්‍රයේ දී පැවැත්වෙන හවුල් දිව්‍ය පුජා යාගයෙනි.

ජුනි 2 දා සිට පැවැත්වෙන ජුබිලි වැඩසටහන් ඉතාලියේ ජාතික රූපවාහිනී නාලිකා සහ ප්‍රධාන ජාත්‍යන්තර කතෝලික නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව ද වතිකාන රේඩියෝව කියයි. ශ්‍රී ලංකාවේ "වෙර්බුම් TV" නාලිකාව  සම්බන්ධ වී සිටින ඇමෙරිකාවේ EWTN රුපවාහිනිය ද මේ අවස්ථා සජීවී ව විකාශය කරයි.



Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය