ආදරවන්තයන් ගේ දිනයේ ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ආදරයේ ආදර්ශය

Holy Father's act of love on the "Lover's Day"


දරුවෙකුට ඔහුගේ බෙහෙත් වේල පෙවුවේය

(2016 පෙබරවාරි 15)

ලෝකය ඉබාගාතේ  "ආදරවන්තයන් ගේ දිනය" සමරන පෙබරවාරි 14 වැනිදා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ "සැබෑ ආදරවන්තයකු" ගේ ක්‍රියාවක් කළේය.

එතුමා සිය පිතෘක ආදරය පෙන්නුවේ කුඩා ළමයින්ටය. විවධ රෝගවලින් පෙලී රෝහලක ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ටය. එසේ කොට ආදරවන්තයකු වන හැටි පෙන්නුවේය.

දැන් මැක්සිකෝවේ අපෝස්තලික සංචාරයක යෙදෙමින් සිටින සුදොතුම් පියතුමා 2016 පෙබරවාරි 16 වනදා මෙක්සිකෝපුර ෆෙඩ්රිකෝ ගෝමෙස් ළමා රෝහලේ චාරිකාවක නිරත විය. නිදහසේ එහි සිටි ළමා රෝගීන් සමග විහිලුවෙන් තහලුවෙන් කතා බහ  කල එතුමා ඔවුන්ට කතන්දර කීවේය. ඔවුන්ගේ ගීත වලට සවන් දුන්නේ ය. ඔවුන්ට ජපමාල තිලිණ කළේය. එක දරුවෙකුට ඔහුගේ බෙහෙත් වේල පෙවුවේය."මම අද ආවේ ඔයාලගෙත් ඔයාලට උදව් වෙන ප්‍රතිකාර කරන අයගෙත් ජීවිතය ටිකක් බෙදා ගන්න" එතුමා කීවේය.


සුදොතුම් පියතුමා ළමා රෝගීන්ට ජේසු ගේ ළමා කාලය ගැන කීවේය.

ජුසේ තුමාත් මරියතුමියත් ජේසු දරුවාව ඔප්පු කිරීමට දේව මාලිගාවට ගිය  කතාව සුදොතුම් පියතුමා ළමා රෝගීන්ට මතක් කළේය. දේව මාලිගාවේ දී සිමියොන් දිවස්ප්‍රසාදිවරයා ජේසු බිලිඳුන් සිය දෝතට ගෙන වැළඳ ගත් හැටි එතුමා මතක් කළේය.

"සිමියොන් තුමා එහෙම කලේ ජේසු බිලිඳා දැකීමෙන් එතුමා තුළ ඇති වූ හැඟීම් දෙකක් නිසා. එකක් දෙවිපියානන් වහන්සේට කෘතඥ වීම; ස්තුති කිරීම. අනෙක මේ පුංචි දරුවාට ආශීර්වාද කිරීමට ඕනෑකම" සුදොතුම් පියතුමා කීවේය.

"මටත් ඔයාලා දැක්කාම ඇති වුනේ සිමියොන් තුමා වගේම හැඟීමක්. එනම් ඔබට ස්තුති කරන්නටත්, ආශීර්වාද කරන්නටත්."

"මෙහි ඇතුළු වී ඔබේ මුහුණු, ඔබේ දෑස්, ඔබේ සිනහව දැකපු මට  මේ හැමදේටම ස්තුති කරන්න හිතුණා. මාව ආදරයෙන් , උණුසුමින් පිළිගත්තාට ඔයාලාට ස්තුතියි.ඔබගේ කරුණාවට ස්තුතියි.  මෙහි සිටින ඔයාලව මෘදුව ආදරයෙන් රක බලාගන්නා හැමෝටම ස්තුතියි. ඒ වගේම ඔයාලව යලිත් සුව අතට ගෙනෙන්නට අවශ්‍ය සෑම දෙයක්ම කරමින් සෑම වෙහෙසක් ම දරන පිරිසටත් ස්තුතියි. එසේම ඔයාල සමග සිටිමින් ඔයාලාට 'කරුණාවේ-චිකිත්සාව' ලබා දෙන අයටත් ස්තුතියි."

"ඊළඟට, ඔබවත් ඔබේ පවුල් වල සාමාජිකයන්වත් ආශීර්වාද කර, ඔබ සමග ගමන් කරන්න කියා මම පියාණන්ට යාච්ඥා කරනවා.ඒ වගේම  ඔබේ සිනහව දිනෙන් දින වැඩිකරන්නට මේ නිවසේ කැපවීමෙන් සේවය කරන සෑම කෙනෙකුවම ආශීර්වාද කරන ලෙසත් මම දෙවිපියානන්ගෙන් ඉල්ලනවා."

ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊළඟට මේ ළමා රෝගීන් දිරිමත් කලේ ශු. හුවාන් දියේගෝ තුමන්ට ගුවාඩලූපේ  දේව මෑණියන් හමුවීමේ සැබෑ කතන්දරය මතක් කරමින්. 

"ඔබ අහල තියෙනවද රතු ඉන්දියානු හුවාන් දියේගෝ ගේ කතාව? එයාගේ මාමා හුඟාක් රෝගාතුර වී සිටි නිසා, එයා බොහෝ දුකටත් කලකිරීමටත් පත් වෙලයි හිටියෙ. එහෙම ඉන්නකොට ගුවාඩලූපේ කන්‍යාව දර්ශනය වෙලා ඔහුට කියනවා , "කිසිවකින් ඔබගේ සිත කලබල කරගන්න එපා! දුක් වෙන්න එපා! මම ඔබ සමග ඉන්නවා නොවේ ද? මම ඔබගේ අම්මා නොවේද?" කියලා.

"අපටත් අපේ අම්මා හැටියට මරිය තුමිය අප ළඟ ඉන්නවා. අපි එතුමියගෙන් ඉල්ලමු, අපට එතුමියගේ පුතනුවන් වන ජේසුව තිලිණ කරන්නට කියා. අපි අපේ ඇස් වසාගෙන මෑණියන්ගෙන් ඉල්ලමු, අද අපේ හදවත් සොයන දේ ලබා දෙන්න කියා. ඊට පස්සේ අපි හැමෝම එකට යාච්ඥා කරමු."

මෙසේ කී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දරුවන් සමග ටික වෙලාවක් නිහඬව යාච්ඥා කර, සියල්ලන් සමග එක්ව "නමෝ මරිය" යැදුම කීවේය.




Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය