"අඟහරු මතින් ද්‍රව ජලය හමු වීම මනස්කාන්තයි. පිටසක්වල ජීවින් හමුවීම කිතුනු විශ්වාසයට තර්ජනක් නොවේ.." වතිකාන තාරකා විද්‍යාඥයා කියයි

"Liquid water on Mars is an exciting discovery," says Vatican's top astronomer 

තාරකා විද්‍යාඥ කොන්සොල්මඥ්ඥෝ  ජේ.නි. සහෝදර තුමා වතිකාන නිරීක්ෂණ මධ්‍යස්ථානය පැමිණි පිරිසකට රතු ග්‍රහයා ගේ අනුරුවක් පෙන්වයි 


(2015 සැප්තැම්බර් 29)
පෘථිවියෙන් ඈත විශ්වයේ සෙසු ග්‍රහයන්  මත ජීවීන් සෙවීම අතිශයින් මනස්කාන්ත දෙයක් බව වතිකානය පවසයි. වතිකාන ග්‍රහලෝක නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙනයින්   බැලූ කල, අඟහරු ග්‍රහයා මත ජලය ඇතැයි විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබීම තාරකා විද්‍යා ක්‍ෂෙත්‍රය උනන්දු  කරන්නක් බවයි.

අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට තහවුරු වන සාක්ෂි ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (සැප්තැම්බර් 28) ප්‍රකාශ කලේ ය. එය ද ගලා ගෙන යන ජලය වීම විශේෂත්වයක් බව එම ආයතනයේ  තාරකා විද්‍යාඥයෝ සඳහන් කළහ. පෘථිවියේ ජීවත් වන අප වටහා ගෙන ඇති අන්දමට ජලය ජීවයේ පැවැත්මට එක අත්‍යවශ්‍ය සාධකයක් බැවින්, මෙම සොයා ගැනීම නිසා අඟහරු මත ජීවීන් සෙවීමේ ප්‍රයත්නයට ශක්තියක් ලැබී ඇතැයි ඔවුහු පැවැසුහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතිකානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ,වතිකාන ග්‍රහලෝක නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ජේසු නිකායික ගයි කොන්සොල්මඥ්ඥෝ සොයුරු තුමා පවසන්නේ මෙය අතිශයින් උනන්දු කරන සුළු පුවතක් බවයි.

"අඟහරු මත තථත්‍ය  කාලයේ (Real time ) ජලය ගලා යන අයුරු දකින්න පුළුවන්" කොන්සොල්මන්ඥෝ සොයුරු තුමා පැවසී ය.

"අඟහරු ගේ අවුරුද්දක් තුළ ගංගාවල ලකුණු වෙනස් වෙමින් තිබෙන ආකාරය පෙනෙන්නට තිබෙනවා. ඉතින් අපි කතා කරන්නේ රතු ග්‍රහයා මත වසර කෝටි ගණනකට පෙර තිබුණු ජලය හෝ එම ග්‍රහයා ගේ පෘෂ්ඨයට යටින් ඇති මිදුණු ජලය හෝ ගැන නොවේ. එහෙත් ග්‍රහයා මතු පිට ඇති සැබෑ ද්‍රව ජලය ගැනයි" යැයි වතිකාන ගුවන් විදුලිය සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී හෙතෙම කියා සිටියේ ය.   "ඇත්ත වශයෙන්ම වාතය අතිශයින්ම තුනී නිසා එම ජලය වහාම වාෂ්ප වී යන්නට පුළුවන්. එහෙත් කිසියම් දෙයක් එහා මෙහා ගෙන යන්නට හැකි තරම් ප්‍රමාණවත් ජලයක් එහි තිබෙනවා"

අඟහරු මත ඇති දොළ පාරවල්, ලුණු සහිත තෙත් බරිත පසින් සැදුම් ලත් ඒවා බව දක්නට ලැබෙන බව ද කොන්සොල්මඥ්ඥෝ සොයුරු තුමා පෙන්වා කිවේ ය.

"එය කරිජ්ජ සහිතයි. මෙයින් පෙනී යන්නේ එය සක්‍රියව පස සමග ප්‍රතික්‍රියා කරන බවයි. කරිජ්ජ සාදන්නට අවශ්‍ය වන අන්තර් ක්‍රියා සහ රසායනය සැලකිල්ලට ගත් විට, එම පෘෂ්ඨයට යටින් කිසියම් ආකාරයක ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සිටිය හැකිය යන අනුමානය ප්‍රතික්ෂේප කිරීම අසීරු වෙනවා." ඔහු පෙන්වා දෙයි. "එහෙත් මෙය ජීවින් ඇති බව ඔප්පු කරන්නක් නොවේ. එහෙත් ඒ නිවරැදි දිශාවට තැබූ වැදගත් පියවරක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්."

"පිටසක්වල ජීවින් සෙවීමේ ප්‍රයත්නය මනස්කාන්තයි. මන්ද ජීවීන් පිලිබඳ අපට තිබෙන්නේ එක් නිදර්ශනයක්  පමණයි. ඒ තමයි පෘථිවිය'" ඔහු පෙන්වා දුන්නේ ය. ජීවය අතිශයින්ම විරල නිසා වෙන කිසිදු තැනක ජීවය නැද්ද , එසේ නැති නම් , ජීවය බොහෝ සාමාන්‍ය නිසා එය සෑම තැනම තිබෙනවා ද යන්න ගැන අප තුල තවමත් නිසි අදහසක් නැහැ. ඒ නිසයි මේ සොයා ගැනීම අපට හුඟාක් වැදගත් වෙන්නේ."

පිටසක්වල ජීවීන් කිතුනු විශ්වාසය අර්බුදයට දමයි ද?

අඟහරු මත ජීවීන් සිටීමේ හැකියාව පෘථිවි කතෝලිකයන් ගේ විශ්වාසය අර්බුදයට හෙලීමට හෝ තර්ජනයට ලක් කිරීමට හේතුවක් නොවන බව කොන්සොල්මඥ්ඥෝ සහෝදර තුමා අවධාරණය කළේය. එහෙත් ඊට පරස්පර ලෙස වෙනත් ග්‍රහයන් මත ජීවීන් සිටීම හෝ නොසිටීම මගින් දෙවියන් වහන්සේ පිළිබඳව අපට වඩාත් ගැඹුරින් දැන ගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය.

"වඩාත් වැදගත් කාරණය නම්, දෙවියන් වහන්සේ විසින් විශ්වය මවන ලද බව වටහා ගැනීමයි. දෙවියන් වහන්සේ එය මවා වදාලේ කෙසේ ද යන්න දැන ගැනීම මගින් උන්වහන්සේ ගේ පෞරුෂත්වය ගැන අපට වැටහීමක් ලබා ගන්න පුළුවන්. " ඔහු විස්තර කලේ ය.

" බලන්න. දෙවියන් වහන්සේ තමන් විසින් මවන ලද විශ්වයේ එකම ජීවින් ලෙස, පෘථිවියේ සිටින අප පමණක් තෝරා ගත්තා නම්, එය හරිම සිත් ගන්නා සුළුයි. මන්ද ඒ මගින් දෙවියන් වහන්සේ හා අප අතර විශේෂ කතාවක් කියවෙනවා. එහෙත් ජීවය සෑම තැනකම දැකිය හැකි සාධකයක් ලෙස දෙවියන් වහන්සේ විශ්වය මැවුයේ නම් ඒ මගින් නිර්මාණය වන්නේ ඊට වඩා වෙනස් චිත්‍රයක්. එහෙත් ඒ දෙකෙන් කවර ආකාරයෙන් වූවත් අප ඉගෙන ගන්නේ දෙවියන් වහන්සේ ගේ මැවිල්ල හා පුද්ගල භාවය ගැනයි" සහෝදර තුමා වැඩි දුරටත් සඳහන් කලේ ය.

(Radio Vatican)

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය