කොමියුනිස්ට් කුරුසිය "විරෝධාකල්ප කළා කෘතියක්" - පාප් වහන්සේ පවසති; "මගේ සිත රිදුනේ නැහැ"

Pope calls "Communist Crucifix" Protest Art; "I wasn't offended" he affirms 



(2015 ජූලි 13)
බොලිවියාවේ ජනාධිපති ඉවෝ මොරාලෙස් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේට පිරිනැමූ "දෑකැති-මිටි කුරුසය" හෙවත් "කොමියුනිස්ට් කුරුස" තිළිණය "විරෝධාකල්ප කළා කෘතියක්" ලෙස පාප් වහන්සේ හඳුන්වති. එයින් තම සිත රිදුනේ නැති බවද එතුමා සඳහන් කරයි.

පැරගුවේ සිට ආපසු වතිකානය බලා එන අතර ගුවනේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු එමින් එතුමා මේ බව කියා සිටියේ ය. බොලිවියා රාජ්‍ය මන්දිරයේදී නායක දෙපොළ තෑගී හුවමාරු කරගන්නා අවස්ථාවේ ජනාධිපති මොරාලෙස් මහතා පාප් වහන්සේට පිරිනැමුවේ දෑකැත්ත හා මිටිය පදනම් කොට තැනූ කුරුසියකි.

ඒ පුවත මෙතැනින් කියවන්න :වතිකානය උභතෝකෝටිකයකට මැදි කල බොලිවියා ජනපති ගේ "දෑකැති - මිටි කුරුස" තිළිණය.

එය බොලිවියාවේ ධර්මදුත පියනමක් ලෙස සේවාව කල ස්පාඥ්ඥ ජාතික ජේසු නිකායික ලුවිස් එස්පිනාල් පියතුමා ගේ නිර්මාණයක් බව ද ජනාධිපතිවරයා පාප් වහන්සේට කිවේ ය. ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය නායකයකුගෙන් ලැබූ මෙම තිළිණය මාධ්‍යවේදීන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක්ව තිබිණි.

"මට එය පිළිගන්නට පුළුවන් විරෝධතා කළා කෘතියක් හැටියට. ඇතැම් අවස්ථාවල ඒවා සිත් රිදවන සුළු විය හැකියි" ගුවන් යානයේ සිටි මාධ්‍යවේදීනට පිළිතුරු දෙමින් සුදොතුම් පියතුමා කිවේය. "එහෙත් මේ කලා කෘතියේ  පසුබිම දැනගත් විට මට එම කුරුසියට පසුබිම් වූ අදහස තේරුම් ගත හැකියි. ඒ නිසා එයින් මට සිත් රිදවීමක් සිදු වූයේ නැහැ...." යි එතුමා සඳහන් කළේය. "එම කුරුසිය දැන් මාත් එක්ක රෝමයට යනවා" යි ද එතුමා කිවේ ය.

මිට වසර කිහිපයකට පෙර ආර්ජන්ටිනාවේ මුර්ති ශිල්පියකු නිර්මාණය කල එබඳු "විරෝධාකල්ප කළා කෘතියක්" ගැන සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "ඉතා නිර්මාශීලි මෙම කළා කරුවා ක්‍රිස්තුන් වහන්සේව කඩා වැටෙමින් තිබූ බෝම්බ ප්‍රහාරක යානයක කුරුසියේ ඇණ ගසා ඇති ලෙස නිර්මාණය කර තිබුනා. එය ක්‍රිස්තු ධර්මය ගැන ඔහුගේ විවේචනයයි. අපි මෙහෙම කියමු; ක්‍රිස්තු ධර්මය බෝම්බ ප්‍රහාරක යානයෙන් පිළිබිඹු වන අධිරාජ්‍යවාදය සමග සන්ධාන ගත වී  ඇත කියා; නේද......?" යි ඒ ගැන පාප් වහන්සේ සිය අදහස පල කළහ. 

මෙම "දෑකැති-මිටි කුරුසිය" 1970 ගණන් වල ලුවිස් එස්පිනාල් පියතුමා විසින් නිර්මාණය කරන ලද්දකි. බොලිවියා  ජනතාව දක්ෂිණාංශික ආඥාදායක රෙජිමයට එරෙහිව සටන් කරන සමයේ එස්පිනාල් පියතුමා ඔවුනට ශක්තියක් වුයේ ය. ලොව සෑම තැනකම සිදුවන ලෙස එම ආඥාදායක රෙජීමය විසින් එතුමා ඝාතනය කරන ලද්දේය. 

එස්පිනාල් පියතුමා පත්‍රකලාවේදියකු වූ බව තමා දැන සිටියේ යැයි සුදොතුම් පියතුමා කිවේය. එහෙත් එතුමා දක්ෂ මුර්ති ශිල්පියකු හා කවියකු ද වූ බව තමා නොදැන සිටි බව පාප් වහන්සේ සඳහන් කළහ. 

එස්පිනාල් පියතුමා (දේවධර්මයේ මාක්ස්වාදී අර්ථකතනයක් වන) විමුක්ති දේව ධර්මවාදයට සිත් ඇදී  ගිය කෙනකු බව උන්වහන්සේ කියා සිටියේය. විමුක්ති දේව ධර්මය ගැන එතුමන් අයත් ජේසු නිකාය තුළ ද විවේචන තිබුනේ ය.  කුරුසිය පිලිබඳ සංවාදීය අර්ථකතනයකට ගිය පියතුමා, මාක්ස්වාදී විශ්ලේෂනයෙනුත්, එම චින්තනය පදනම් කර ගන්නා දේව ධර්මයෙනුත් අදහස් ගෙන මෙම කුරුසිය නිර්මාණය කර තිබෙන බව එතුමා කිවේය. "ඔහුගේ කවි වලින් ද එම විරෝධාකල්ප ඉස්මතු වුනා."

"එහෙත්, එය ඔහු ගේ ජීවිතයයි." පාප් වහන්සේ පැවසුහ. "එය ඔහු ගේ චින්තනයයි. ඔහු ඉහල මානව ප්‍රතිභාවකින් යුතු ව සිටි, යහපත් විශ්වාසයෙන් සටන් කල  විශේෂ මිනිසෙක්. එහෙම නේද?"

සටහන:  කතෝලික පියනමක් විසින් දශක කිහිපයකට කලින් නිර්මාණය කරන ලදුව බොලිවියා  ජනපති තිලින කල  "දෑකැති - මිටි" කුරුසිය ගැන ප්‍රැන්සිස් පාප් වහන්සේ කල මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන්නේ උන්වහන්සේ ලෝකයත්, ජනතාවත් එසේම ස්වකීය කිතුනු කමත් දකින පුළුල් දෘෂ්ටි කෝණයයි.   සම්ප්‍රදායට එරෙහි "කොමියුනිස්ට්  කුරුසියක්"  නිර්මාණය කල තම සහෝදර පියතුමාට චෝදනා කොට, එතුමන් ගේ දේව ධාර්මික චින්තනය විවේචනය කොට, එය වැරදි චින්තනයක් ලෙස ප්‍රකාශයට පත් කරනු වෙනුවට ප්‍රන්සිස්  පාප් වහන්සේ කලේ, මෙම නිර්මාණය බිහි වූ පසුබිමත් එහිලා ලුවිස් එස්පිනාල් පියතුමන් තුළ වූ දර්ශනයත් ප්‍රතිභාවත් අගය කිරීමයි. එය දයාබර හදවතින් පිළිගැනීමයි. 

එවැන්නක් අගය කිරීම ක්‍රිස්තු ධර්මයට එකඟ බවට පාප් වහන්සේ මේ මගින් ඉඟි කරයි.

ශ්‍රී ලංකාවේ මෙවැන්නක් සිදු වුනි නම්, මේ වනවිට එස්පිනාල් පියතුමාට නිග්‍රහ කර, විවේචනය කර  එතුමන් සභාවෙන් නෙරපා හැර තිබෙන්නට ද පුළුවන. සග සැපත් තිස්ස බාලසූරිය නි. ම. නි. පියතුමාට සිදුවූයේ මෙය ය. එතුමා සභාවෙන් නෙරපා හැරීමට කටයුතු කරන ලද්දේ ගරු ආචාර්ය ඩැල්ස්ටන් ෆෝබ්ස්, ගරු ආචාර්ය ඇලෝයි පීරිස් වැනි ලෝ ප්‍රකට දේව ධර්ම හා දර්ශනවේදීන් එතුමන් ගේ කෘතිය දේව ධර්මයට පටහැනි නොමැති බව අවධාරණය කරද්දී ය.

ප්‍රැන්සිස් පාප් වහන්සේ එස්පිනාල් ප්යතුමා ගේ කෘතිය ගැන කල ප්‍රකාශය,  සග සැපත් තිස්ස බාලසුරිය පියතුමන් වෙත ආපසු හැරි ගොස් එතුමන් ගේ චින්තනය දෙස මැදිහත් සිතින් බලන්නට අපට කරන පෙළඹවීමක් කර ගත හැකි ද?
(CNA)

  

Comments

  1. අනිවාර්යෙන්ම...!

    ReplyDelete
  2. ආදරණීයයි.. මේ තමයි අපි සිහින දුටු පාප්තුමා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය